කොවිඩ්වලින් පීඩාවට පත් ව්‍යාපාර 63,000කට ලබා දුන් ණය

Share

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ව්‍යාපාර 63,000කට ප්‍රතිමූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘සෞභාග්‍යයා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය’ යටතේ ලබා දී තිබෙන ණය මුදල රුපියල් කෝටි 18,000ක් (රුපියල් බිලියන 180) බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

 

කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යළි පණ ගැන්වීමේ අරමුණෙන් මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙන අතර කොවිඩ් වසංගතය හමුවේ වුව ද රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරන මොහොතක නිෂ්පාදන කර්මාන්ත අංශයේ සියයට 5.3ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්වන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ වර්ධනය සංඛ්‍යාත්මකව සනාථ කරමින් පසුගිය 2020 වසරේ දෙවැනි කාර්තුවේ දී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව කර්මාන්ත අංශයේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් ජන ජීවිතය යථාවත් කිරීමට ගත් පියවර හේතුවෙන් මෙම වර්ධනය අත් කර ගෙන තිබෙන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ආනයන සීමා කිරීම, පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන් කාරක ප්‍රාග්ධනය සහ ප්‍රතිමූල්‍ය පහසුකම් ලබාදීම ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යළි පණ ගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය’ මඟින් ප්‍රතිමූල්‍ය පහසුකම් සැලසීම කර්මාන්ත අංශයේ වර්ධනය සඳහා දායක වී ඇත.

2020 වසරේ තුන්වැනි කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම කාර්තුවේ සමස්ත කාර්මික ක්‍රියාකාරකම් සියයට 0.6ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බවත් කොවිඩ් පළමු රැල්ලෙන් පසු රට යළිත් විවෘත කර නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් යළි ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ධනය සිදුව ඇති බවත්ය.

Read more

Local News