දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ අභියාචනය විභාගය පෙබරවාරි මස 3 වැනිදා

Share

වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

 

අදාළ අභියාචනය අද (29) විජිත් මලල්ගොඩ, එල්. ටී. බී. දෙහිදෙණිය, ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ අභියාචනය විභාගය සඳහා පෙබරවාරි මස 3 වනදා කැඳවන බවය.

පසුගිය රජය සමයේ කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරාදීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට අදාළ නඩුවේ දෙවන විත්තිකරු ලෙස පියදාස දිසානායක මහතා නම් කෙරුණි.

අදාළ චෝදනාවට වරදකරු කළ පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 12ක සිර දඬුවමක් හා රුපියල් 55,000ක දඩයක් නියම කර තිබුණි.

එම දඬුවම තමන්ට නියමකර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Read more

Local News