අභ්‍යාසලාභී උපාධිධාරීන් දස දහසක් ඉක්මවූ ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණයට පියවර

Share

පැවති රජය යටතේ 2019 වසරේ දී බඳවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් දස දහසක් ඉක්මවූ ප්‍රමාණය මේ මස අවසන් වීමට පෙර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

 

මෙම උපාධිධාරීන්ගේ බඳවාගැනීම් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිලධාරීන් හා පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය ජනවාරි මස අවසන් වීමට පෙර මෙම පත්වීම් ලබා දීමට සියල්ල සුදානම් කර සිටියද අමාත්‍යාංශයේ නිලධාරීන් ගණනාවකට කොවිඩ් වෛරසය වැළදීම හේතුවෙන් ඇතැම් අංශ තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවයි.ඒ හේතුවෙන් අදාළ පත්වීම් ලබා දීම් ප්‍රමාද වුණි.

කෙසේ වුවද එළඹෙන 8 වනදා සිට අදාළ අංශ යලි යථාවත් කිරීමත් සමඟ මෙම උපාධිධාරීන්ගේ ස්ථානගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් තමන් ලබාදුන් බව සඳහන් කළ අමාත්‍යවරයා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අධික්ෂණය යටතේ එම කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද පැවැසීය.

පවතින වසංගත තත්වය නොවන්නට මෙම අන්තර්ග්‍රහණය කිරීමේ කටයුත්ත අවසන් කිරීමට තම අමාත්‍යාංශයට හැකියාව තිබූ බව පැවසූ අමාත්‍යවරයා එකී පමාව අභ්‍යසලාභීන්ට බල නොපාන පරිදි කටයුතු කරන බවද පැවසීය.

ජනවාරි 01දා පත්වීම් දිනය ලෙස වන සේ මෙම පත්වීම් ලබා දීමට තම අමාත්‍යංශය තීරණය කර ඇති හෙයින් අවස්ථාවාදී දේශපාලන කල්ලිවල  බොරු වලට හසු නොවන ලෙසද අමාත්‍යවරයා පැවසීය.

තම රජය  ජනතාවාදී රජයක් බව පැවසූ ජනක බණඩාර අමාත්‍යවරයා රාජ්‍ය සේවාවේ උන්නතිය සම්බන්ධයෙන් ඇත්තේද එම දැක්මම බව පැවසීය. වර්තමානයේ රට මුහුණ දී ඇති අභියෝගාත්මක තත්තවය තුලදී වුවද අඛණ්ඩ රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවූ සමස්ත රාජ්‍ය සේවයට තම කෘතවේදීත්වය පිරිනමන බවද පැවසීය.

Read more

Local News