ත්‍රිකුණාමල දිස්ත්‍රික් ආර්ථික සංවර්ධනයට ගත් පියවරක්

Share

වැලි කැණිම් බලපත්‍ර නිකුත් කිරීමෙන් පමණක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආර්ථිකය ගොඩනැංවිය නොහැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

 

කවුරුන් හෝ එවැනි සිතුවිල්ලක් මත කටයුතු කරන්නේ නම් ඒ තුළින් සිදු වන්නේ දිස්ත්‍රික්කයේ විශාල පරිසරය සහ ගංගා සියල්ල විනාශ විම පමණක් බවද ඇය සදහන් කළාය.

ඊයේ (09) පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය.

“වැලිකැණිම් බලපත්‍ර නිකුත් කිරීම සදහා අපි දැන් දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. බලපත්‍ර දීමේ නිසි වැඩපිළිවෙලක් ඒ කමිටුව මගින් නිර්මාණය වෙනවා. අද වැලි ප්‍රශ්ණය මේ දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම ප්‍රශ්ණය බවට පත් වෙලා. ඊට වඩා වැදගත් ක්ෂේත්‍ර ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ” යැයිද  ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළාය.

ඉන් අනතුරුව සාම්පල්තිවු කලපුව වනජීවි කලාපයක් ලෙස ගැසට් කිරීමේ වත්මන් තත්වය පිලිබඳව අවධානය යොමු විය. මෙහිදි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතා කියා සිටියේ අදාළ ගැසට් නිවේදනය අනුමත කර ගැනීම සදහා කැබිනට් මණ්ඩලය වෙත යවා ඇති බවයි.

මේ අවස්ථාවේ ඊට සහභාගි වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා කියා සිටියේ සාම්පල්තිවු භුමියේ පෞද්ගලික ඉඩම් අයිතිකරුවන්ද සිටින බැවින් ඒ ගැන සොයා බලන ලෙසයි. සංවර්ධනය මුවාවෙන් ජනතාවට ඔවුන්ගේ අයිතීන් අහිමි නොකරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් ආණ්ඩුකාරවරිය කියා සිටියේ කලපුව ආරක්ෂා කිරීම සිදු නොකළ හොත් ජනතාවට විශාල අර්බුද රැසකට මුහුණ දීමට සිදු වන බවයි. පරිසරය රකිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්නා ලෙස සිය ජනතාවට දැනුම් දෙන ලෙසද ආණ්ඩුකාරවරිය මෙහිදි ආර්.සම්බන්දන් මහතාට කියා සිටියාය.

මේ අවස්ථාවට සංවර්ධන කමිටු සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.තවුෆික්, පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී .වනිගසිංහ සහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානින් එක්ව සිටියහ.

Read more

Local News