රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්නැයි අගමැති උපදෙස්

Share

ජනතා බලාපොරොත්තු ඉටුවන පරිදි රජයේ සංවර්ධන ව්‍යාපෘති නියමිත පරිදි කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් නිලධාරීන්ට පවසා තිබේ.

 

කාලය සමඟ සටනක නිරතවෙමින් වසර පහක කාලයක් සඳහා ජනතාව බලාපොරොත්තු වූ වැඩ කොටස ඉටු කිරීමට අප මහන්සි විය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ආයතන ප්‍රධානීන් හමුවේ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කල අතර ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා පලපුරුද්දක් සහිත රාජ්‍ය නිලධාරී පිරිසක් අප සතුව සිටින බවත් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා මඟහැරවා දීමට තමන් පෞද්ගලිකවම මැදිහත්වන බවත් පෙන්වා දෙනු ලැබිය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන හා ඒවායේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ අතර සිය රාජ්‍ය අමාත්‍යංශය යටතේ ආයතන 7ක් තිබෙන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ අඩංගු සියලුම වගකීම් ඉටුකිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක බව සඳහන් කළේය.

කැලණි ගඟෙන් උතුරට තිබෙන ඉඩම් අක්කර 400ක් පමණ සංවර්ධනය කිරීමේ හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික)එම්.ආර්.ඩබ්ලිව් ද සොයිසා මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබිය.

බේරෙ වැව පිරිසිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක අතර එය අවශ්‍ය තත්ත්වයට ගෙන ඒමේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ කසළ මුදා හැරීමේ ක්‍රියාවලිය යැයි ද ඒ මහතා පැවසීය.

ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඔස්සේ දිස්ත්‍රික්ක තුනක කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ කොළඹ පවතින ආකාරයේම ව්‍යායාම මන්තීරු සහ ළමා උද්‍යාන සහිත උද්‍යාන 21ක් දිස්ත්‍රික් 21ක් තුළ ස්ථාපිත කිරීමට නියමිතයි

එමෙන්ම අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් සිදුවන ස්ථානවලට පළාත් පාලන ආයතනවල නිර්දේශ මත විදුලිය හා ජලය ලබාදීම ගැටලුවක් බව මෙහිදී හෙළිදරව් වූ අතර අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් කරන පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම සඳහා බලාත්මක වන නව නීති රෙගුලාසි නොබෝ දිනකින් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව ඇති බව මෙහිදී සඳහන් කෙරුණි.

මේ අතර වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා රට පුරා වෙරළ වැඩබිම් 22ක් ස්ථාපිත කර ඇති බවත් ඉන් පොතුවිල්, ආරුගම්බේ වෙරළ ඛාදනයට සංචාරක කර්මාන්තය ගැන සළකා බලා විසඳුමක් දීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවත් ඊට අමතරව එම දෙපාර්තමේන්තුව යටතේ යාපනය මනල්කාඩු වැලි කදු වැටිය රක්ෂිත ප්‍රදේශයක් ලෙස ආරක්ෂා කිරීමට නියමිතයි

ප්‍රධාන මාර්ගවල සිට ජනතාවට වෙරළට සමීපවීමට තිබෙන මාර්ග අවහිරවීම වැළැක්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසූ අතර එමෙන්ම වෙරළ කලාපයේ ඉදිවන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News