ගල මුදුන ගම්මානයේ දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

Share

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නකල්ස් කඳු වැටියේ හුදකලා ගම්මානයක් වන ගල මුදුන ගම්මානයේ පාසල් දරුවන්ගේ ජීවිත අලෝකමත් කරන්නට සූර්ය විදුලි පැනල හා පාසල් උපකරණ මෙන්ම ගම්මානයේ සියලු පවුල් වෙත වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම ගම්මානය වෙත ගොස් තිබේ.

 

මෙතෙක් විදුලිය ලබා දී නොමැති ගම්මාන වෙත විදුලි අවශ්‍යතා සපයා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම ගම්මානය වෙත පසුගියදා ලඟා වූහ.

ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර ගණනක් මහ වන මැද ගමන් කර මෙම ගම්මානයට පිවිසියේ ඉතා දුෂ්කර මඟක් ගෙවමින්ය.

මෙම මාර්ගයේ වන අලින් වලසුන් මෙම ගම්වැසියන්ට නිරන්තරයෙන් හමු වන බවද ගම්වාසීන් පවසන අතර මෙම ගම්මානයේ බොහෝ නිවාස කටු මැටියෙන් ඉදි කර ඇති අතර, පවුල් 36 ක් පමණ මෙම ගම්මානයේ ජීවත් වෙති.

මෙම ගම්වැසියන් කුප්පි ලාම්පු එළියෙන් අඳුර මකා ගනන්නා අතර, මෙම ගම්මානයේ කිසිදු නිවසක විදුලි උපකරණයක් නැත්තේ මෙම ගම්මානයට තවමත් විදුලිය ලැබී නැති නිසාවෙනි.රූපවාහිනිය, ජංගම දුරකථන, රේඩියෝ ඇතුළු බොහෝ නව තාක්ෂණික උපකරණ මෙම ගම්වැසියන්ට ආගන්තුක දේ වී ඇත.උදෑසන සිට හවස් වන තුරු මහ පොළවත් සමඟ සටන් කර ලබා ගන්නා අස්වැන්නෙන් මේ ගම්මානයේ සියල්ලෝම ජීවිතය සරි කර ගනිති.කඳු මුදුනේ සිට ඇඳ හැලෙන දිය දහරින් පානීය ජල අවශ්‍යතා මෙන්ම අනෙකුත් අවශ්‍යතාද සපුරා ගනිති.

ගම්වාසීන් සමඟින් අමාත්‍යයවරයා එම ගම්මානයට විදුලිය ලබා දීමට ඉඳි කර තිබී අක්‍රියව ඇති  පැරණි ජල විදුලි ජනන යන්ත්‍රයක්ද නිරීක්ෂණය කළ අතර, එය කඩිනමින් නවීකරණය කර දෙන බවටද පොරොන්දු විය.අනතුරුව කඳුමුදුන ගම්මානයේ විද්‍යාලයට ගිය අමාත්‍යයවරයා ගම්වාසීන් සමඟ සාකච්ජා පැවැත්වීය.එහිදී ගම්වාසීන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ විදුලිය හා මාර්ගය පිළිසකර කර දෙන ලෙසයි.

එහිදී අමාත්‍යයවරයා කියා සිටියේ මෙම ගම්මානයට කිලෝ මීටර 5 ½ ක් දුරට විදුලිය හා මාර්ගය ලබා දීම වෙනුවෙන් රජයට විශාල වියදමක් මෙන්ම හා ඒ සඳහා කාළයක් ලත වන .ඒ අනුව මෙම ගම්මානයේ සියලු පවුල් සඳහා පහසුකම් සහිත ප්‍රදේශයකින් නිවසක් ඉඳි කර, ගොඩින් හා මඩින් වගාවට ඉඩම් ලබා දීම රජයට මෙන්ම ගම්වාසීන්ටද පහසුවක් වන බවයි.ආණ්ඩුව මේවට අවුරුදු 10 ක් 15 ක් විසඳුම් හොයනවාට වඩා ස්ථිර විසදුමක් දෙන එකයි හොඳ.එය මෙම ගම්මානයේ අනාගත දරුපරපුරට මහත් රුකුළක් බවද අමාත්‍යවරයා පැවසීය.මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් දැනුම්වත් කරන බවද අමාත්‍යයවරයා පැවසීය.ගම්වාසීන් එහිදී අමාත්‍යයවරයාට කියා සිටියේ තමන් ඊට ඉතාමත් කැමති බවයි.

ඒ අනුව එම ගම්මානයේ පාසල් දරුවන් වෙත අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට පහසුව සඳහා සූර්ය විදුලි පැනල පද්ධති හා පාසල් උපකරණත්, ගම්මානයේ සියලු පවුල් වෙත වියළි සලාක මල්ලක් ප්‍රදානය කිරීමත් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

තම ගම්මානයට පැමිණ තමන් ගෙවන ජීවිතය දැක කුප්පි ලාම්පුවෙන් ඉගෙනුම ලැබූ තම දරුවන්ට සූර්ය පැනල ලබා දීම, අධ්‍යාපන උපකරණ පිරිනැමීම හා ගම්වාසීන්ට ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ගම්වාසීන් තුති පුද කළ අතර, ගම්මානයේ පවතින ජල විදුලි බලාගාරය අප්‍රේල් වන විට ප්‍රථිසංස්කරණය කිරීමට අවධානය යොමු කිරීම සම්බන්ධයෙන්ද ගම්වාසීන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට ස්තූතිය පුද කළහ.

Read more

Local News