කොවිඩ් මරණ ගැන නීතිපති අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක්

Share

මියගිය පසුව කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් සිදුකර තිබේ.

 

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් නැමැත්තෙකු විසින් ගොනු කළ පෙත්සමක් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී එම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා විසින් එම විරෝධය මතු කර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ, මරණකරු මියයාමෙන් පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තාව දෝෂ සහගත බවට තහවුරු කළ හැකි සාධක හා සාක්ෂි කිසිවක් පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවය.

එසේ තිබියදී යළි පීසීආර් පරීක්ෂණයක් පවත්වන ලෙස කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බව ඔහු සඳහන් කළේය.

මරණකරුගේ මරණය සිදුවීමට හේතු වූ කරුණු අනාවරණය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වගඋත්තරකරුවන් සූදානම් වූවද ඊට මරණකරුගේ පියා හෝ ඥාතීන් මේ දක්වා සහයෝගය ලබාදී නොමැති බවද පැවසුවේය.

ඒ අනුව එම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ පී.සී.ආර් පරීක්ෂණවල දෝෂ පැවැත්විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා පිළිගෙන තිබෙන හෙයින් මරණකරු නිශ්චිතවම මියගියේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ද යන්න තහවුරු කරගැනීම සඳහා තම සේවාදායකයින්ට දෙවන පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය වී තිබෙන බවය.

දෙවන පිසීආර් පරීක්ෂණයෙන් මරණකරුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට කරුණු තහවුරු වුවොත් පෙත්සම්කරුවන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව මරණකරුගේ මෘත ශරීරය භූමදානය කිරීමට හැකියාව සැලසෙන බවද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මෙහිදී දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල එම පෙත්සම විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන්නේ ද නැද්ද යන නියෝගය හෙට(18) දින ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

Read more

Local News