හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟ මඟපෙන්වීම යටතේ හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව නව නගර 08 ක් ගොඩනඟන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය “හෝමාගම මාහේනවත්ත ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති” යනුවෙන් හඳුන්වනු ලබයි.

ඒ යටතේ මීගොඩ තොග හුවමාරු වෙළෙඳ මධ්‍යස්ථානයක්, ගොඩගම කෘෂිකර්මාන්ත ධාන්‍යාගාරයක්, දියගම ක්‍රීඩා නගරයක්, හෝමාගම දැනුම කේන්ද්‍රීය කරගත් නගරයක්, බරාව ජෛව විවිධත්ව පරිසර නගරයක්, හෝමාගම මහා පරිමාණ රජවාස සුපිරි අලෙවිසැලක්, ඉංගිරිය – ගොඩගම කළාපය තුළ රෙදිපිළි හා ඇඟලුම් නගරයක් සහ කහතුඩුව අපනයන නගරයක් මෙසේ අලුතින් ගොඩනැගෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදී.

ගොඩනැගෙන මෙම නගරවලට අමතරව කොළඹ අවට තවත් ව්‍යාපෘතියක් සහ කොළඹින් බැහැරව තවත් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කොළඹ අවට වන ව්‍යාපෘතිය යටතේ පානදුර නගරය මූලික කරගත් නේවාසික මහල් නිවාස සංකීර්ණයක් ඉදි කෙරේ. කුළුණු මත ඉදිකරන නව නේවාසික ව්‍යාපෘතිය ලෙස සැලසුම් කර ඇති මෙම එක් කුළුනක් නිවාස 115 කින් සමන්විත වෙයි.

කොළඹින් බැහැර ව්‍යාපෘති දෙක අනුරාධපුරය සහ මිහින්තලේ යන ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ විවිධ සේවාවන් සපයන මහා පරිමාණයේ නගරයක් අනුරාධපුරයේ ඉදිකිරීම සිදුවෙයි.

තවද විශාල තොග ගබඩා සංකීර්ණයක් මිහින්තලය ප්‍රදේශයේ ගොඩනැගීමට නියමිතව තිබේ. ගොඩනැගෙන මෙම ගබඩා සංකීර්ණයෙන් පළාත් කිහිපයක් ආවරණය කිරීමට අපේක්ෂිතයි. ඒ උතුරු මැද පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාත යන පළාත් තුනයි. මෙම කළාපය ඇතුළත් මහා පරිමාණ වෙළෙඳපළක් බිහිකර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

හෝමාගම ප්‍රදේශය සහ ඉන් බැහැර තෝරාගත් වෙනත් ප්‍රදේශ සංවර්ධනය කිරීමේ වැදගත්කම සහ එහි ක්‍රමෝපායන් පිළිබඳව බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු මානාබරණ මඩවලගම යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වුහ.

මෙම අවස්ථාවට සහභාගී වු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ හෝමාගම ඇගළුම් ක්ෂේත්‍රය සංවර්ධනය කිරිමට රජය විසින් ආයෝජන සිදු කරන බවයි.

“හෝමාගම යනු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම කිසිවක් නොපැමිණි පාලම්, බෝක්කු දේශපාලනයක් පමණක් කෙරුණු නගරයක්. හෝමාගම කියන්නේ ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාදීපු ආසනයක්. හෝමාගම අපි හැම මැතිවරණයකදී ම වාර්තා තැබුවා ඉහළම ඡන්ද ප්‍රමාණය ලබා දීමෙන්. ජනාධිපතිවරණයේදි වැඩිපුරම ඡන්ද ලැබුණේ හෝමාගමින්.

මෙයට වසර 17 කට පෙර මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් අපි ඇරඹුවා. ඒක හැඳින්වූයේ නොනිදන නගරයක් යනුවෙන්. ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීමෙන් පසු සිදුවූයේ වෙනත් දෙයක්. රුපියල් 6,000 ක් වැනි කුඩා මුදලකටයි අපි දුන්නේ එම කඩ කාමර. මේ ඊයේ පෙරේදා ඒ කඩ කාමරයක් විකුණපු මිල රුපියල් කෝටි එකහමාරයි. ඒක එහෙම වෙනකොට ඇතිවෙලා තියෙන්නේ දියුණු තත්ත්වයක්. කඩ කාමර 10 – 15 ක් තියාගෙන හිටියානම් දැන් හොඳ තත්වයක් ඇතිවෙන්න තිබුණා. ඒ කඩ දීලා ඇතිකරපු ආර්ථික මධ්‍යස්ථාන සංකල්ප අද සහමුලින් ම වෙනස් වෙලා. අද ඒ කඩ වෙළෙන්දන්ගෙන් ව්‍යාපාරිකයෝ මිළට අරගෙන කුලියට දීලා. කඩ කුලියම ලක්ෂ ගාණක්. බිස්නස් කරන්නේ වෙන කෙනෙක්. ඒ හින්දා භාණ්ඩ මිල අඩුවීම ගැන ආර්ථික මධ්‍යස්ථානයේ සංකල්පය අද කඩාගෙන වැටිලා. මේ පාර වෙළඳ අමාත්‍යාංශයට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළත් නැහැ. ඒ නිසා මම ජනාධිපතිතුමාට කිව්වා ආර්ථික මධ්‍යස්ථාන වෙනුවට ආර්ථික මරමස්ථාන හදන්න කියලා. ඒ අනුව අපි අනුරාධපුරේ හදනවා විසල් නගරයක්. උතුරු පළාත, උතුරු මැද පළාත සහ නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙන. ඒක අදාල වන ලෙස නගර සංවර්ධන සැලැස්ම හදලා දෙන්න.

අපි මීගොඩ – ගොඩගම මාර්ග කාපට් කරලා පුළුල් කරලා තිබෙනවා. මීගොඩ දුම්රියපොළ ආශ්‍රිතව ආර්ථික මධ්‍යස්ථානයක් තියෙනවා. ඒක කේන්ද්‍ර කරගෙන ගොඩගම, මීගොඩ, පාදුක්ක ගෘහස්ථ ඇඟළුම් ආශ්‍රිත වෙළඳ ප්‍රදේශයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක ගිය සැරේ බදු පනතේ ආව යෝජනාවක්. ඉපැයූ ආකාරය හෙළිදරව් කළ නොහැකි තත්ත්වයක් තිබේ නම් 1% ක බද්දක් ගෙවීමෙන් ඒ බදු මුදල් ආයෝජනය කළ හැකියි. මෙහිදී රුපියල් ලක්ෂ 100 ක් තිබෙනවා නම් ඉපැයූ ආකාරය දැක්විය නොහැකි. ඒ රුපියල් ලක්ෂයක් බදු ගෙවීමෙන් රුපියල් ලක්ෂ අනූ නමයක් ආයෝජනය කළ හැකියි. ඒ වගේ මුදල් හුඟාක් තියෙනවා ඇගළුම් ක්ෂේත්‍රයේ. අපි ඒ අයට දෙනවා අවස්ථාවක්. ඒ වගේ මුදල් මේ හෝමාගම ඇඟළුම් ක්ෂේත්‍රයට ආයෝජනය කරන්න. ඒක විශේෂ කාරණයක්” යනුවෙන් ද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරළත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ හෝමාගම ප්‍රදේශය සංවර්ධනය සඳහා සුදුසු සැලසුම් සකස් කර ඇමතිතුමාට ඉදිරිපත් කරන බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු අධික්ෂණය කරනු ලබයි.

Read more

Local News