වියළි කලාපයේ කුඩා වැව් 2400ක ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට උපදෙස්

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ(26) පෙරවරුවේ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවති පොළොන්නරුව දිස්ති‍්‍රක් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් පවසා සිටියේ,

වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර, ඉදිරි වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ගොවි ජනතාවට අපහසුතාවයකින් තොරව තම ජීවනෝපාය කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව සලසා දෙමින් එම වැව්වල ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මෙතෙක් දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කරන ලද වැඩසටහන්වල ප‍්‍රගතිය සහ මෙම වසරේ සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

මේ අතරින් වකුගඩු රෝහලේ ඉදිකිරීම්, ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ, ත්‍රෛභාෂා පාසලේ ඉදිකිරීම් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග සහ වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙන්ම රේඛීය අමාත්‍යාංශ ප‍්‍රතිපාදන මගින් කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී එම ප‍්‍රදේශවල ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා හඳුනාගනිමින් සහ ජනතා මුදල් අපතේ නොයන අන්දමින් සංවර්ධන සැලසුම් සකස් කිරීම නිලධාරින්ගේ වගකීම බවයි.

දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සකස් කරන ලද වැඩසටහන් නිවැරදි නිර්ණායක ඔස්සේ ජනතා අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් යළි සැලසුම් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම දිස්ති‍්‍රක්කයේ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සහ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. ඉදිරි වගා කටයුතුවලදී මුහුණදීමට සිදුවන ජල ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරින්ගේ අවධානය යොමුකළ ජනාධිපතිතුමා ජලාශවල සහ වැව්වල පවතින ජල මට්ටම පිළිබඳ ගොවි සංවිධාන හරහා ගොවි ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරමින් ඒ අනුව තම වගා සැලසුම් සකස් කර ගැනීම පිළිබඳ ඔවුන්ට උපදෙස් ලබාදීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

 

Read more

Local News