රටක නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් ගොඩනැගෙන්නේ දේශීය ව්‍යාපාර, කර්මාන්ත ශක්තිමත් වූ විටයි – ජනපති

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලු පිළිබඳ ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පැවසුවේ, දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බවයි.

රටක නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් ගොඩනැගෙන්නේ දේශීය ව්‍යාපාර සහ දේශීය කර්මාන්ත ශක්තිමත් වූ විට බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා දේශීය කර්මාන්තවල ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සියලු තීන්දු තීරණ ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගනිමින් එහි උන්නතිය සදහා ගතයුතු තීන්දු, තීරණ රැසක් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර දේශීය කිරිපිටි කර්මාන්තය, දේශීය බිස්කට් කර්මාන්තය මෙන්ම දේශීය රථවාහන නිෂ්පාදන ප‍්‍රචලිත කිරීමට අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු විය. එමෙන්ම දේශීය ආයුර්වේදය කෙරෙහි එල්ලවී ඇති බලපෑම් සහ එහි උන්නතිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

විදේශීය සිල්ලර වෙළෙඳසැල් ජාලයකට ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල නිරතවීමට අවසර ලබාදීම හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයින්ට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද අවධානය යොමු වූ අතර එහිදී ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත උපදෙස් දුන්නේ දේශීය කර්මාන්තවලට අභියෝගයක් වන කිසිදු විදේශීය ආයෝජනයකට ඉඩ නොදිය යුතු බවයි.

ඉහළ බැංකු පොළි අනුපාතය දේශීය කර්මාන්ත කෙරෙහි බලපා ඇති ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, රාජ්‍ය බැංකු මගින් දේශීය කර්මාන්තකරුවන්ට සහන සළසා දීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නැංවීමට මේ වන විට සාකච්ඡා පවත්වා තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.

Read more

Local News