නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද ඇරැඹේ

Share

මෙරට 70 වැනි නිදහස් සමරුවට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (6) ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

ශ්‍රි ලංකාව සමග ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන මේ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ආර්.ප්‍රේමදාස පිටියේදී රාත්‍රි තරග ලෙස පැවැත්වෙන අතර පස්වරු 7.00ට ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් ආබාධ හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා නොකරන අතර ඉන්දිය පිලේ නායක විරාත් කෝලි විවේකගැනීම නිසා තරගාවලියට සහභාගි නොවේ.

ඊයේ පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති නිදහස් කුසලාන තරගාවලියේ කුසලානය නිරාවරණය කිරීමේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ, පසුගිය බංග්ලාදේශ සංචාරයේදී නැවත නැගී සිටීමට සමත්වූ ශ්‍රී ලංකා පිල මේ තරගාවලියට එක්වන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුව බවයි.

විශේෂයෙන් මෙරට ක්‍රීඩාලෝලින් හමුවේ ක්‍රීඩා කිරීමේ වාසිය සමග ජයග්‍රාහීව තරගාවලිය නිමා කිරීමට හැකිවනු ඇතැයි චන්දිමාල් විශ්වාසය පළ කළේය.

සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් නොමැතිව වුවත් මේ තරගාවලියේදී සෙසු කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින් කුසලානය ජයගැනීම සිය කණ්ඩායමේ බලාපොරොත්තුව වී ඇතැයි මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා කියා සිටියේය.

සිය කණ්ඩායමේ සටන්කාමීත්වයෙන් පිරි ක්‍රීඩකයන් රැසක් සිටින බැවින් සෙසු කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින් පෙරළිකාර දස්කම් දැක්වීම එකම අරමුණ බව මාධ්‍ය හමුවට එක්වූ බංග්ලාදේශ පිලේ නායක මහ්මුදුල්ලා පැවැසීය.

Read more

Local News