නිදහස් පන්දුවාර පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

Share

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වූ නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමිවෙයි.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ඉන්දීය පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඉන්දියාව ඕවර් 20කදී කඩුලු 5කට ලබාගත් ලකුණු 174ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල ඕවර් 18.3කදී කඩුලු 5කට ලකුණු 175ක් ලැබීය.

තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමට අවසන් පන්දු 25දී ලකුණු 35ක් ගත යුතු වුවද පසුව අවසන් ලකුණු 4 ලබා ගැනීමට පන්දු 10ක් ඉතිරිවූ පහසු ඉලක්කයක් බවට පත්විය. එම ජයග්‍රාහී ලකුණු හතර නොදැවී ලකුණු 15ක් ලබාගත් දසුන් ශානකගේ පිත්තෙන් වාර්තා වූ අතර තිසර පෙරේරා නොදැවී ලකුණු 22ක් ලබා සිටියේය. තිසර පන්දු 10කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් එල්ල කිරීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට කදිම පිටුබලයක් විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ කුසල් ජනිත් පිටිය වර්ණවත් කරමින් විශිෂ්ට ලෙස ලකුණු 66ක් ලබා ගැනීම කැපී පෙණුනි.

ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර මෙන්ඩිස් ලකුණු 11කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක අතර ලකුණු 58ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබියදී ධනුෂ්ක ලකුණු 19කට දැවී ගියේය. ඔහු පන්දු 12කදී හයේ පහර 2ක් හා හතරේ පහරක් සමග ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ නායක චන්දිමාල් පන්දු 11කදී ලකුණු 14කට දැවී ගියේය. තරංග ලකුණු 18කදී හයේ පහරක් සමග ලකුණු 17කට දැවී ගියේ චාහල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවැටීමෙනී.

ඉන්දීය ඉනිම ගොඩ නැගීමට ප්‍රබල දායකත්වයක් දුන් ෂිකර් ධවාන් තම විස්සයි 20 ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පිතිකරණය වාර්තා කරමින් ලකුණු 90ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 2ක්, නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය ඉන්දියාව හා බංග්ලාදේශය අතර හෙට (8) ආර්. ප්‍රේමදාස පිටියේදී පස්වරු 7ට ආරම්භ වෙයි.

Read more

Local News