කඩුලු 6 ක ජයක් ඉන්දියාවට

Share

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ඊයේ (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19 ක් අවසානයේදී කඩුුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය.ඒ අනුව 153ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය පිල ඕවර 17.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් ලබාගැනීමට සමත් විය. ඒ අනුව කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය. දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි කුසල්, යුස්වින්දර් චාහාල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ය.

මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක රෝහිත් ශර්මා (11) සහ ශිකර් ධවාන් (8) පිටියෙන් ඉවත් කළ අකිල ධනංජය තරගය කණ්ඩායම් දෙකටම විවෘත එකක් බවට පත්කළේය. එහෙත් ඉන් පසුව පිටියේ එක්වූ ලොකේෂ් රාහුල් (18) සහ සුරේෂ් රයිනා (27) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගීය.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මනීෂ් පාණ්ඬේ (නොදැවී 42) සහ දිනේෂ් කාර්තික් (නොදැවී 39) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ.

 

 

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 19 කට සීමා කර තිබූණි.

Read more

Local News