රටේ අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකළ යුතු වෙනස්කම් සැලසුම් සහගතව වෙනස් කළ යුතුයි – අධ්‍යාපන අැමති

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ව්‍යාපෘතිය යටතේ 01 සහ 02 ශ්‍රේණිවලට අදාළ ඉංග්‍රීසි ක්‍රියාකාරකම් පොත් සහ ඉංග්‍රීසි ගුරු අත්පොත් කට්ටල ප්‍රදානය කිරීම නිමිත්තෙන් ඊයේ (15) මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේ,

රටේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක වර්ධනයට අදාළ සැලසුම් සකස් කිරීමේදී, පසුගාමීත්වයට පත්ව ඇති මෙරට තාක්ෂණික සංවර්ධනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව, තාක්ෂණික සංවර්ධනය අතින් වසර 15 ක පමණ පසුපසින් අප රට ගමන් කරන බවත්, එම තත්ත්වය මඟහරවාලීම සඳහා රටේ අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකළ යුතු වෙනස්කම් සැලසුම් සහගතව වෙනස් කිරීමට, එම පද්ධතියට අදාළ සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පෙර පැවති අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව සිසුන්ට හට ගැඹුරින් ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා තිබුණු අවකාශය අවම මට්ටමේ පැවති බවයි. දිනෙන් දින දියුණු වන අනාගත තාක්ෂණික ලෝකය ජයගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම සිහිපත් කළ අමාත්‍යවරයා, අධ්‍යාපනයේ මුල් අවධියේ සිටම ඉංග්‍රීසි භාෂාව දරුවන් හට සමීප කරවීමේ අවශ්‍යාතාව ද පැහැදිලි  කළේය.

මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යාස්ථානයේ දී ඊයේ පැවති මෙම උත්සවයේ දී, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් මත, දිවයිනේ සියලු පාසල් වල 01 සහ 02 ශ්‍රේණිවලට, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස් කරන ලද ඉංග්‍රීසි ක්‍රියාකාරකම් පොත් සහ ඉංග්‍රීසි ගුරු අත්පොත් කට්ටල මෙන්ම 03 ශ්‍රේණියට අදාළව ඉංග්‍රීසි භාෂා කුසලතාව ඔප්නැංවීමට අදාළ සංයුක්ත තැටි කට්ටල, සිසුන් සහ විදුහල්පතිවරුන් වෙත සංකේතාත්මකව ප්‍රදානය කිරීම සිදුවිය.

1997 වසරේ ප්‍රාථමික අධ්‍යාපන නවීකරණයේ දී හඳුන්වාදුන්, ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි විෂය පාසල්වල ක්‍රියාත්මක කිරී‍ම සඳහා මෙතෙක් ඉගෙනුම් සම්පත් මූලාශ්‍ර අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී නොතිබූ බැවින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල්වල ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම පොත් කට්ටල සහ සංයුක්ත තැටි නිෂ්පාදනය කොට තිබේ.

ඒ අනුව, දිවයිනේ ප්‍රාථමික ශ්‍රේණි සහිත සෑම පාසලකම  01 සහ 02 ශ්‍රේණි සදහා මෙම පොත් කට්ටල සහ සංයුක්ත තැටි භාවිතයට අවස්ථාව සැලසීමට නියමිතයි. ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ භාවිතයට ගැළපෙන ඉංග්‍රීසි ළමා ගීත පොත් 2ක්, ඉංග්‍රීසි කතාන්දර පොත් 10ක්, සංයුක්ත තැටි 3ක්, සහ ගුරුවරුන් සඳහා වන ගුරු අත්‍ පොතක් මෙම ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලයට ඇතුළත් වනවා. මෙම පොත් සහ සංයුක්ත තැටි භාවිතය සම්බන්ධව ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීම සහ ඔවුන් මගින් ප්‍රාථමික ගුරුවරුන් දැනුවත් කිරීමට ද කටයුතු යොදා තිබේ.

 

Read more

Local News