නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

Share

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරඟයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

සබීර් රහමාන්ගේ (77) පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තේය.

බංග්ලාදේශ පිතිකරුවන්ට පළමු ඕවර 10 තුළදී කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 68 ක් වුවද අවසන් ඕවර 10 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 98 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ජයග්‍රහණය සදහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව කඩුලු 6 ක් දැවී අවසන් පන්දුවේදී තරඟයේ ජය තහවුරු කරගැනීමට සමත්විය.

ඉන්දියාවෙන් ගිලිහී යමින් තිබූ තරඟයේ ජය නැවතත් තම කණ්ඩායමට දෙසට හැරවීමට සමත්වූ ඩිනේෂ් කාර්තික් පන්දු 8 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැස්කිරීමට සමත්විය.

ඒ අනුව ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මාට නිදහස් කුසලානය පිරිනමනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි.

 

Read more

Local News