රටේ ප‍්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් රටට අවශ්‍යයයි – ජනපති

Share

යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ,
දේශපාලන බලය ලබාගැනීම උදෙසා ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් සිටින අතර, එහිදී රටේ ප‍්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත්, රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ය.
2015 ජනවාරි 08දා මේ රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප‍්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව පැවසූ ජනාධිපතිතුමා, කෙතරම් විරුද්ධ දේශපාලන බලවේග පැමිණිය ද ඉදිරියේදී ද එම ප‍්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව අවධාරණය කළේය.
රටේ ප‍්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
අද පෙරවරුවේ යාපනය, ශාන්ත පැට්‍රික් පෞද්ගලික විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.
අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරින් 197 දෙනෙකුට ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ රටක ප‍්‍රශ්න විසඳාගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබාදිම බවයි.
උගතුන් වැඩිවීමත් සමග රටක ප‍්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවලද ප‍්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිස එය කිසිදු අවස්ථාවක සීමා කිරීමට කටයුතු නොකරන අතර නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති තුළද කටයුතු කිරීමේ වගකීම ඉටුකරන බව පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජයේ නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා සැලසුම් තුළ උපාධිධාරින්ට රැකියා නොමැතිව උද්ඝෝෂණය කිරීමට සිදුවන ක‍්‍රමය වෙනස්කර තිබෙන බව ද කියා සිටියේය.
තාක්ෂණ විෂයන් සහිත උපාධිධාරින්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් අද උදා වී තිබෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලාංකික උපාධිධාරින් යොමු කිරීම සඳහා තමා පසුගියදා සිදුකළ ජපාන සංචාරයේදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read more

Local News