මඩකළපුව ගුවන් තොටුපොළ සිවිල් ගුවන් සේවා සඳහා විවෘත කෙරේ

Share

රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැඟෙනහිර පළාතේ දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණෙන් මඩකලපුව අභ්‍යන්තර ගුවන් තොටුපොළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් ඊයේ 25 වැනි දින ආරම්භ කෙරිණි.

ඒ අනුව ප්‍රථම සිවිල් ගුවන් සේවාව ආරම්භ කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ලේකම් ජී.එස්.විතානගේ මහතා ඇතුළු නිලධරීන් පිරිසක් සහ
මඟීන් රැගත් ගුවන් යානය පෙ.ව. 10.30 ට මඩකළපුව ගුවන් තොටුපොළට ළඟා විය.

1958 වසරේ නොවැම්බර් මස 17 වන දින සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරනු ලැබූ මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපොළ වසර ගණනාවක් පුරා රට තුළ පැවති කුරිරු යුධමය වාතාවරණය හේතුවෙන් වසර 25 කට ආසන්න කාලයක් යුධ හමුදා හා ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කරන ලදී.

රට තුළ පවතින සාමකාමී තත්ත්වය පදනම් කර ගනිමින් මෙම ගුවන් තොටුපොළ යළි ප්‍රතිසංවිධානය කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 2016 වසරේ ජූලී 16 වන දින විවෘත කරන ලදී.

ඉන් අනතුරුව අමාත්‍යවරුන් විසින් මගී පර්යන්ත ගොඩනැඟිල්ල විවෘත කෙරුණ අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී.නිමලසිරි මහතා විසින් ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට අවසරය ලබාදෙන බලපත්‍රය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම් සභාපති සමන් එදිරිවීර මහතා වෙත භාර දෙන ලදී.

මෙම ගුවන් තොටුපොළ නවීකරණය කොට ප්‍රතිසංවර්ධනය කිරීමට රුපියල් මිලියන 1400 ක මුදලක් රජය වැය කර ඇත. ඒ අනුව මීටර 1066 ක් දිගින් හා මීටර 46 ක් පළලින් යුතු ධාවන පථය බිටුමින් ආස්තරයක් යොදා ප්‍රතිසංවර්ධනය කොට ධාවන පථයේ නව විදුලි පද්ධතියක් ස්ථාපිත කොට ඇත. මීට අමතරව මගී පර්යන්ත ගොඩනැඟිල්ල සියලු පහසුකම් සහිතව නවීකරණය කොට ඇත.

මඩකළපුව ගුවන් තොටුපොළ, මඩකළපුව නගරරේ සිට 1.7 ක්ම් ක් පමණ දුරින් සේත්තුකුඩා යන ප්‍රදේශයේ පිහිටා ඇති අතර, කටුනායක සිට 206 ක් හා රත්මලාන ගුවන් තොටුපොලේ සිට 222 ක්ම් ක දුරින් පිහිටා ඇත. මෙම ගුවන් තොටුපොලේ සියලු කර්යභාර්යන් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් සිදු කෙරෙන අතර, පෞද්ගලික ගුවන් සේවා සමාගම් කීපයක් ම මේ වන විට රත්මලන හා මඩකළපුව අතර මගී ගුවන් සේවා පවත්වාගෙන යෑම සඳහා කැමැත්ත පළ කර ඇති බවත් මේ තුළින් රජයට ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකිවන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසයි.

එමෙන් ම මෙම ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ ගුවන් පුහුණු පාසලක් ආරම්භ කිරීමට අමාත්‍යාංශ්ය සැලසුම් කොට ඇත.

Read more

Local News