ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් වෙයි

Share

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන්හි පැවැත්වනු ලැබූ 2018 ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත්ව තිබේ.

18 වැනි වරටත් පැවත්වනු ලැබූ මෙම සම්මාන උළෙල සඳහා සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් හරහා රටවල් 30කට අධික සංඛ්‍යාවක් වෙතින් සිදුකළ ඉදිරිපත් කිරීම් 157ක් විනිශ්චයට ලක්වූ බව ඔවුහු පවසති.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න” (Two Cities, One Spirit) යන නමින් දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය ‘first star’ සම්මානයකින් මෙම සම්මාන උළෙලේදී පිදුම් ලැබීය.

මෙම කාණ්ඩය යටතේ චීනය සඳහා දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය වන “The Spirit of China, the Story of Sri Lanka” වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ‘second star’ සම්මානයක්ද හිමිවිය.

එසේම ගුවන් සමාගම ඉන්දියාව සඳහා දියත් කළ “ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය” (The Largest Carrier to India) ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා රූපවාහිනී සිනමා කාණ්ඩය යටතේ තවත් “second star” සම්මානයකින් පිදුම් ලැබීමටද සමත්ව තිබේ.

Read more

Local News