කරුණු 15 ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර සාකච්ඡාවක්

Share

කරුණු 15 ක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය (27) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී ප්‍රවාහන දීමනා, උසස්වීම්, වාහන බලපත්‍ර ලබාගැනීම, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ස්ථාන මාරුවීම්, වෛද්‍ය පරිපාලන පුරප්පාඩු පිරවීම, වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුලත් කිරීම, පෞද්ගලික රෝහල් නියාමන වැඩපිළිවෙල සහ බස්නාහිර පළාතේ රෝහල්වල ක්‍රියාත්මක රෙදි සේදීමේ ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡා කරන ලදි.

මෙහිදී වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව ලබාදීම පිළිබදව රජය සමග සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. තව ද වෛද්‍යවරුන් සදහා වසර 05 කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදීම පිළීබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

එහිදි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම වාහන බලපත්‍රය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි. පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි. එහිදී වෛද්‍යවරුන් අයකරන මුදල වෙනස් නොකරන ලෙසට පෞද්ගලික රෝහල් සංගමය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.

තව ද රජයේ වෛද්‍යවරුන් වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද ලබා පස්වරුවේ පමණක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වන බැවින් අසරණ රෝගීන් දෙස බලා තීරණයක් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Read more

Local News