රටේ තරුණ පරපුරට යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනගාදීමට සියලු දෙනා සාමූහිකත්වයෙන් වගකීම් ඉටු කළයුතුයි – ජනපති

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා, නිකවැරටිය පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති ‘ජාතික යොවුන් පුරය 2018’ සමාප්ති උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළේ,

රටේ තරුණ පරපුරට යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනගාදීමට සියලු දෙනා සාමූහිකත්වයෙන් වගකීම් ඉටු කළයුතු බවයි.

ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන යොවුන් පුරය 2018 මෙවර කුරුණෑගල දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය 28 වනදා ඇරඹිණි.

දිවයින පුරා තරුණ තරුණියන් 7000 ක් පමණ මීට එක්වූ අතර, විදෙස් රටවල තරුණ තරුණියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

තරුණ තරුණියන්ගේ පෞරුෂ වර්ධනය සඳහා නායකත්ව වැඩමුළු, යොවුන් කඳවුරු හා තරුණ හමු මෙහිදී පැවැත්වුණ අතර ශ‍්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාතික සංහිඳියාව සහ සාමුහිකත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, තරුණ සංවර්ධන ක්ෂේත‍්‍රයේ කටයුතු සම්බන්ධ විදෙස් තරුණ තරුණියන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, අන්‍යොන්‍ය අවබෝධයක් ලබාදීම තුළින් සාමුහිකත්වය, සහජීවනය පදනම් කරගත් විවිධ කි‍්‍රයාකාරකම්වල නියැලෙමින් ජාතික සංවර්ධනය සම්බන්ධයෙන් තරුණ පරපුර අතර කතිකාවක් ඇතිකරමින් අදහස් හා යෝජනා ලබාගැනීමටත් මෙමගින් වේදිකාවක් සැපයේ.

මෙම සමාප්ති උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද ලොව දියුණු රටවල් එම දියුණුව කරා ළඟාවී ඇත්තේ සියලු දෙනා රට වෙනුවෙන් පොදු අරමුණක් යටතේ කටයුතු කිරීම නිසා බවයි.

එබැවින් පෞද්ගලික න්‍යාය පත‍්‍රවලින් බැහැරව රට වෙනුවෙන් පොදු න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සියලු දේශපාලන නායකයින් මෙන්ම සියලු දේශපාලන සංවිධාන කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා සාමුහිකත්වය, ජාතියක් ලෙස ඉදිරියට යාමට යෝධ ශක්තියක් බව ද කියා සිටියේය.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ තාරුණ්‍යයේ අපේක්ෂාවන් මුදුන් පත් කිරීම වෙනුවෙන් රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි.

Read more

Local News