සෑම රෝහලකටම පෝෂණ වෛද්‍ය ඒකකයක්

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ ජනතාවගේ පෝෂණ වැඩපිළිවෙල ගම් මට්ටමට දියත් කිරීම සදහා පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් හමුදාවක් ලෙස ඒකාබද්ධව කටයුතු කළ යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්වල පෝෂණ වෛද්‍ය ඒකක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහනට ඊයේ (02) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රථම පෝෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කළ අතර එය ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කරන ලදි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රථම පෝෂණ වෛද්‍ය ඒකකය විවෘත කිරීම ඉතා වැදගත්. මෙම රෝහලේ කාර්ය මණ්ඩලය 8000 ක් පමණ සිටිනවා. රෝගීන් 4000 ක් පමණ දෛනිකව ප්‍රතිකාර ලබනවා. මෙම පිරිසගේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. බෝවන රෝග පාලනය කර ඇති ශ්‍රී ලංකාවට බෝනොවන රෝග අභියෝගයක් වී තිබෙනවා. එය මුලු ලෝකයටම අභියෝගයක්. පෝෂණ වැඩපිළිවෙල තුලින් ජනතාවට හිතකර සහ අහිතකර කෑමවර්ග පිළිබද දැනුවත් කළ යුතුයි. පෝෂ්‍යදායි ආහාර වේලක ගුණ අගුණ කියා දිය යුතුයි. අහිතකර කෑම වර්ග භාවිතයෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කළ යුතුයි. පෝෂණ වැඩපිළිවෙලක් අපේ රටට අවශ්‍ය වන්නේ එම නිසයි.

දැනට පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් සුලු සංඛ්‍යාවක් සිටියත් එම පිරිස 100 දක්වාවත් වැඩි විය යුකුයි. පෝෂණවේදීන් 500 ක් පමණ සිටිනවා. ගම් මට්ටමින් අධ්‍යාපන දැනුම ලබාදීමට නම් එම පිරිස තවත් වැඩි විය යුතුයි. බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීමට රජයක් ලෙස කටයුතු කරනවා. දුම්පානය අවම කිරීම සඳහා ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීම සහ තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීමේ නියෝග ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරියේ දී ඉදිරිපත් කරනවා. එවිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමත් සමග දුම්කොළ විරෝධී වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කළ ලොව ප්‍රථම රට වන්නේත් ශ්‍රී ලංකාවයි. යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News