ජනපති පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ඉල්ලයි

Share

පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දෙයි.

දිස්ති‍්‍රක්ක කිහිපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මතුව ඇති පානීය ජල ගැටලුව හමුවේ ඇතැම් ව්‍යාපාරිකයින් විසින් ප‍්‍රමිතියෙන් තොරව සහ අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

දැඩි වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (05) දින දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

වියළි කාලගුණික තත්ත්වය මේ වන විට දිවයිනේ දිස්ති‍්‍රක්ක 09 කට පමණ බලපා ඇති අතර කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මන්නාරම, යාපනය, වව්නියාව යන දිස්ති‍්‍රක්කවල පවුල් 143,235 ක් පමණ ඉන් පීඩාවට පත්ව සිටී.

ඔවුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සහ සෙසු ජල පහසුකම් සපයාදීම, වියළි සළාක ලබාදීමේ වැඩසටහනේ ප‍්‍රගතිය සහ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

ජලය ලබාගත හැකි මූලාශ‍්‍රයන් ප‍්‍රමාණාත්මකව සීමා සහිත වීම සහ ඒවායේ ජලධාරිතාවන් අවම මට්ටමක පැවතීම, වන සතුන්ගේ ජල අවශ්‍යතාවයන් සඳහා ප‍්‍රමාණවත් ජලය නොලැබීම සහ වන සතුන්ගෙන් ජනතාවට හා දේපලවලට සිදුවන හානි වැඩිවීම, විදුලි උත්පාදනය සඳහා වන බලපෑම, ආහාර සුරක්ෂිතතාවයට ඇතිවිය හැකි බලපෑම් යන කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අදාළ ප‍්‍රදේශවල ස්ථාපිත කර ඇති නළ ළිං අලුත්වැඩියා කිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිළිබඳ ගොවි සංවිධාන හරහා ගොවි ජනතාව දැනුවත් කිරීම වැනි කෙටිකාලීන වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික කම්කරු පවුල්වල ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක නියං සහනාධාර වැඩසටහනේ ප‍්‍රගතිය සහ කි‍්‍රයාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය.

Read more

Local News