පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමූවේ පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්තාවක් අැතිවීම හේතුවෙනි – ජනපති

Share

පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමූවේ පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්තාවක් ඇතිව තිබීම හේතුවෙන් එය සන්සුන් කිරීමට බවත් මේ පිළිබඳව දේශපාලන වශයෙන් මන්ද බුද්ධික පුද්ගලයන් වැරැදි අර්ථකතන කරන බවත් ලන්ඩන් නුවරදී බී.බී.සී. සිංහල සංදේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් සිදුව නොමැති බවත් 16 දෙනා ඇමති මණ්ඩලයෙන් ඉවත්වුවත් නිදහස් පක්ෂයෙන් ඉවත් නොවූ බවද හෙතෙම සඳහන් කළේය.

“සෑම මන්ත්‍රීවරයෙක්ම දේශපාලන වශයෙන් මොන මතවාද දරුවත් පාර්ලිමේන්තුව තුළ සුහදතාව තිබෙනවා. මම දැක්කා පාර්ලිමේන්තුවේ යම් නොසන්සුන්වීමක්. ඒ නිසා මට අවශ්‍යයි රට වෙනුවෙන් පාර්ලිමේන්තුව සන්සුන් තැනක් බවට පත්කර ගන්න. මේ ගැන නොයෙකුත් අර්ථ විග්‍රහයන් කරනවා. මම හිතන්නේ දේශපාලන වශයෙන් මන්ද බුද්ධික අය තමයි වැරදි විග්‍රහයන් කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් කියලා මම කියන්නේ නෑ. අපි තාමත් එකට කටයුතු කරනවා. ඔය පෙන්වන බෙදීමක් තවම ඇතිවෙලා නෑ. 16 දෙනෙක් ඇමති මණ්ඩලයේ ඉවත්වුණා. නමුත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වුණෙ නෑ. ආණ්ඩුව තුළ ඉන්නත් පුළුවන් කැමතිනම් ඉවත් වෙන්නත් පුළුවන්.’’ යැයි ජනපති පැවසීය.

Read more

Local News