විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී හදිසි අනතුරුවලට ලක්වූ ශ‍්‍රමිකයින් සඳහා වන්දි

Share

විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී හදිසි අනතුරුවලට ලක්වූ ශ‍්‍රමිකයින් සඳහා රුපියල් මිලියන 6.7ක වන්දි මුදලක් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ප‍්‍රදානය කෙරිණි.

විවිධ තාක්ෂණික හේතු නිසා කාර්යාංශය මඟින් නොමිලේ ලබාදෙන රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකිවූ ශ‍්‍රමිකයින් තිස්දෙනෙක් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අරමුදල මඟින් මෙම වන්දි ලබාදී තිබුණි. විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් සියළුම පියවර ගන්නා බව මෙහිදී අදහස් දැක්වූ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ”විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව යාම අනිවාර්ය දෙයක්. එය විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේම සඳහන් වන දෙයක්. එසේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව යන අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. ශ‍්‍රමිකයාගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට තමයි අපි සියළුම කටයුතු කරන්නේ. අපිට මේ සියළුම දේවල් කිරීමට හැකියාව ලැබෙන්නේ ඔබ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවුනොත් පමණයි. එසේ ලියාපදිංචි නොවී විදෙස්ගතවන අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට නෛතික බැඳීමක් නෑ. මේ නිසා තමයි විදේශ ගතවන සියළුම ශ‍්‍රමිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්ය වන්නේ. ලියාපදිංචිව විදේශ රැකියා සඳහා පිටත්ව ගියත් නියමිත කාල රාමුව තුළ අදාළ රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකි අයට සානුකම්පිත පදනම මත අපි වන්දි ලබාදෙනවා. මානුෂිය යුතුකම මත තමයි අපි මේ වන්දි ලබාදෙන්නේ.

විදේශ රැකියාවල යෙදී සිටියදී නියමිත සේවා කාලය දීර්ඝ කරනවා නම් අපගේ ලියාපදිංචියත් දීර්ඝ කරගන්න කියන පණිවුඩය ජනතාවට දෙන්න අවශ්‍යයි. විදේශගත ශ‍්‍රමිකයින් ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙනවා. ඔවුන් කරන රැකියාව කුමක් වුවත් ඔවුන් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය වැදගත් යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරය පැවසීය.

Read more

Local News