අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රාදේශීය මට්ටමෙන් ජනතා අදහස් විමසීමේ කටයුතු මන්නාරමෙන් අරඹයි

Share

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රාදේශීය මට්ටමෙන් ජනතා අදහස් විමසීමේ කටයුත්ත 2018 මැයි 12 වැනි සෙනසුරාදා මන්නාරමෙන් ආරම්භ කරන බව අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

නිකුත් කළ නිවේදනය,

 

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රාදේශීය මට්ටමෙන් ජනතා අදහස් විමසීමේ කටයුත්ත 2018 මැයි 12 වැනි සෙනසුරාදා මන්නාරමෙන් ආරම්භ කරයි. මෙම අදහස් විමසීම වනාහී නැතිවූ හෝ අතුරුදන් වූ හෝ පුද්ගලයන් සෙවීම පිණිස අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාදාමයේ අත්‍යවශ්‍ය පියවරකි.

 

නැතිවූ හෝ අතුරුදන් වූ හෝ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්, ක්‍රියාකාරීන්ගෙන්, වෘත්තිකයන්ගෙන් සහ මේ කරුණ සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානවලින් මෙම අදහස් විමසීම සිදු කෙරේ. ඉදිරි සති කිහිපය ඇතුළත අතුරුදන්වූවන්ගේ කාර්යාලය මාතර, ත්‍රිකුණාමලය, මුලතිව්, මහනුවර, කිලිනොච්චි, යාපනය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සංචාරය කරනු ඇත. ඒවා කාර්යාලය විසින් කරනු ලැබීමට අපේක්ෂිත සංචාරවල පළමු අදියරට ඇතුළත් වෙයි.

 

මහජන අදහස්වලට සවන් දී, ඉදිරි පියවර සහ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් කෙරෙන යෝජනා ඇතුළත් කිරීම සඳහා අතුරුදන්වූවන්ගේ කාර්යාලය සතුව දැනට ඇති සංවිධාන සැලැස්මෙහි සහ උපාය මාර්ගවල තොරතුරු ජනතාව සමඟ බෙදාහදා ගැනීම මෙම රැස්වීම්වල අරමුණ වේ. මීට පෙර පැවැති කොමිසම් මගින්ද සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය බලකා ක්‍රියාවලිය මගින්ද උගත් පාඩම් හා කෙරුණු නිර්දේශ පදනම් කරගනිමින් කාර්යාලයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට දැනට සකස් කරනු ලැබ ඇති සැලසුම්වලින් ප්‍රයත්න දැරෙයි.

අතුරුදන් වූ සිය ආදරණීයයන් වසර ගණනාවක් තිස්සේ සොයමින් සිටින පවුල් සහ පුද්ගලයන් තුළ ඇති හදිසියත්, ඉච්ඡා භංගත්වයත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය හොඳින් අවබෝධ කරගෙන සිටියි.

 

එසේවුවද, ඇති වී ඇති තත්ත්වයට ඵලදායී ප්‍රතිචාරයක් ලබාදීමත්, තාවකාලික පියවර ගැනීම වලක්වාලීමත් අරමුණු කරගනිමින් අදාල වැදගත් ක්‍රියාදාමයන් ස්ථාපිත කරන තුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය එම පවුල්වලින් සහ පුද්ගලයන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටියි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ජනතාව අතරට යෑමේ ක්‍රියාදාමය මෙම ජනතා අදහස් විමසීමෙන් ඇරඹෙන අතර, එය නැතිවූ හෝ අතුරුදන් වූ හෝ පුද්ගලයන් සෙවීමේ කටයුත්ත කෙරෙමින් පවතින බව පෙන්වන ධනාත්මක දර්ශකයකි.

Read more

Local News