ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීමට චීනයේ අවධානය

Share

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා අවස්ථාවන් ඇති කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම සාකච්ඡාවට චීනයේ ග්වැන්ග්ඩොන්ග් හි ඇගිලිටි සමුහ ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට චීන ආයෝජකයින්ගේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ගොවීන් විසින් නිපදවන පලතුරු, එළවළු ආදි ඉක්මනින් නරක් වෙන සුළු ද්‍රව්‍ය  කල් තබා ගැනීම, පසු අස්වනු නාස්තිය වැළැක්වීම, එළවළු හා පලතුරු කල්තබා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ශිතාගාර පහසුකම් ඇති කිරීම, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කෘෂි යන්ත්‍රෝපකරණ නිපදවීම සහ කාබනික පොහොර නිපදවීම සඳහා අවස්ථා ඇති කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ විය.

ඒ අනුව එම කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ග්වැන්ග්ඩොන්ග් ඇගිලිටි ආයතනයේ නියෝජිත පිරිස එකගතාවය පළ කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාබනික වගාව යොදා ගැනීම මගින වගා කෙරෙන සහල් සඳහා  දේශීය වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක් තිබෙන බවයි.

කාබනික වගාව මගින් වගා කෙරෙන්නේ අප රටේ සාම්ප්‍රදායික වී වර්ග වීම එය හේතු වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සහල් ආහාරයට ගැනීම මගින් වර්තමානයේ වර්ධනය වෙමින් පවතින දැඩි අර්බුදයක් වන දියවැඩියාව, පිළිකාව වැනි ඇතැම් බෝ නොවන රෝග පවා වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බව ද අවධාරණය කළේය.

Read more

Local News