ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ අවදානම් සහිත පළිබෝධනාශක භාවිතය අවම වෙයි – මඳ විෂ සහිත පළිබෝධනාශක භාවිතය වැඩි වෙයි

Share

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවේ වී, එළවළු, පළතුරු ඇතුළු බෝග සඳහා භාවිතා කෙරෙන පළිබෝධනාශක අතරින් අධි විෂ සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතය සම්බන්ධව නිලධාරීන්ගෙන් තොරතුරු විමසනු ලැබී ය. එහිදී එම නිලධාරීන් ප්‍රකාශ කළේ “මේ වන විට අධිවිෂ සහිත පළිබෝධනාශක භාවිතය අවම වෙමින් තිබෙන අතර, මඳ විෂ සහිත පළිබෝධනාශක භාවිතය වැඩි වෙමින් පවතින බවයි.

පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ තොරතුරු අනුව, උග්‍ර විෂ සහිත පළිබෝධනාශක වර්ග 40 ක් 2002 වර්ෂයේ භාවිතා කළත්, මේ වන විට එය 01 ක් දක්වා 98% න් අඩු වී ඇත.

එමෙන්ම සාමාන්‍ය විෂ සහිත පළිබෝධනාශක 187 ක් 2002 වසරේ ලියාපදිංචි කර ඇති අතර, එය 2016 වර්ෂය වන විට 133 දක්වාත්, සුළු විෂ සහිත පළිබෝධනාශක වර්ග 88 ක් 2002 දී ලියාපදිංචි කර ඇති අතර, එය මේ වන විට 168 ක් දක්වාත්, ඉතාමත් මඳ විෂ සහිත පළිබෝධනාශක වර්ග 115 ක් 2002 වර්ෂයේ භාවිතා කළ අතර, මේ වන විට 162 දක්වාත්, ඉහළ ගොස් ඇත.

විෂ භාවයෙන් අධික උග්‍ර අවදානම් සහිත පළිබෝධනාශක භාවිතය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන අතර බෝග වල පළිබෝධනාශක අවශිෂ්ට පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජාතික වැඩසටහනක් ආරම්භ කරන බවත් සඳහන් කළේ ය.

 

Read more

Local News