ජනපති ප‍්‍රධානත්වයෙන් ජගත් පරිසර දින සැමරුම අද කෑගල්ලේදී

Share

මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම අද (04) 10.00ට  කෑගල්ලේදී පැවැත්වෙයි.

ඒ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

”ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු” යන්න මෙවර පරිසර දිනයේ තේමාව වන අතර පසුගිය මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර විවිධ
වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නංවා තිබේ.

ගරු ජනාධිපතිතුමා විසින් සංකේතාත්මකව පැළයක් රෝපණය කරමින් ජගත් පරිසර දින සැමරුම් ජාතික උත්සවය ආරම්භ කෙරන අතර ප‍්‍රදේශයේ කසළ කළමනාකරණයට අදාළ පහසුකම් සැපයීම, කෑගල්ල දිස්ති‍්‍රක් පරිසර පැතිකඩ පිළිබඳ මූලික ජෛව පරිසර දත්ත වාර්තාව එළිදැක්වීම, පරිසර දිනයට සමගාමීව පවත්වන ලද තරගවල ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය ආදි වැඩසටහන් රැසක් මෙහිදී කි‍්‍රයාත්මක කෙරේ.

මෙයට අමතරව ජගත් පරිසර දිනයට සමගාමීව විශේෂයෙන් කෑගල්ල දිස්ති‍්‍රක්කයේත්, දිවයින පුරාත් පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන් එක්ව කටයුතු සැලසුම් කර තිබේ.

ජගත් පරිසර දින සැමරුම ආරම්භ කෙරුණේ 1972 වර්ෂයේදි ස්වීඩනයේ එක්සත් ජාතින්ගේ සම්මේලනයට ඉදිරිපත්වූ යෝජනාවක් සම්මත වීමත් සමගය. පරිසරය පිළිබඳ දැනුවත් කිරීමත්, පරිසරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, පරිසර ධූෂණය වළක්වාලමින් සුරක්ෂිත පරිසරයක් සඳහා කි‍්‍රයාකාරිත්වය වැඩි කිරීම මෙම දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.

ස්වභාවික විපත් වන ගංවතුර, නායයෑම්, ගිනි කඳු පිපිරිම් ආදිය අද වන විට බහුලව ලොව පුරා ඇති වෙමින් පවතී. ගෝලිය උණුසුම ඉහළ යාම බලවත් තර්ජනයක් අනාගතයට ඉතිරිකරන බව මේ වන විටත් ගෝලීය පරිසර
විශේෂඥයන් පෙන්වා දී තිබේ.

වායු දූෂණය, ජල දූෂණය මෙන්ම ජනතාව ජීවත්වන අවට පරිසරය ආරක්ෂිත වටපිටාවක් බවට පත් නොකොට දූෂිත පරිසර පද්ධතියක් ලෙස පවත්වා ගැනීම නිසා දෛනිකව මානව කි‍්‍රයාකාරකම්වලට බලවත් තර්ජනයක් අත්කර දී තිබේ. එමෙන්ම පරිසරයට බරපතල ප‍්‍රතිඵල අත්කර දෙන විපත්වලට ප‍්‍රධාන හේතුව වන්නේ මානව කි‍්‍රයාකාරකම් බව පරිසරවේදිහු පෙන්වා දෙති.

Read more

Local News