දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තලවිල ග‍්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ ඊයේ (13) පෙරවරුවේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් ප‍්‍රකාශ කළේ,

දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්න බවයි.

තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ අතර දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලූ කිහිපයක් පිළිබඳව එහිදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. ජල හිඟය, විදුලිය පිළිබඳ ගැටලු, ප‍්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිඟය සහ තම නිෂ්පාදන අළෙවි කර ගැනීමේදී මතුව තිබෙන ගැටලු ඒ අතර ප‍්‍රමුඛ විය.

මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ප‍්‍රදේශයේ විදුලිබල ගැටලූවලට ස්ථීර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් කි‍්‍රයාවට නංවන බවයි.

අදාළ සියලු ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලමින් ඒවා කි‍්‍රයාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සතියත් තුළ ප‍්‍රදේශය වෙත එවීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

එමෙන්ම තම පළතුරු නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබිමේ ගැටලුව පිළිබඳව ද ප‍්‍රදේශයේ පළතුරු ගොවින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර පළතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ.

එහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පළතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවරයන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ තලවිල ප්‍රදේශයේ ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම සංකේවත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද තලවිල සූර්ය බල ව්‍යාපෘතිය ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.

Read more

Local News