දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජනපති හමුවෙයි

Share

සිව්දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාත් මහතා ඊයේ (28) පස්වරුවේ පොළොන්නරුව නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සුහද කතා බහක නිරත විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න මහතාගේ ආරාධනාව පරිදි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානියා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සිදුවන යුද හමුදා පුහුණු කටයුතු පිළිබද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්ගේ පුහුණුව සදහා කොල්ලූපිටියේ ඉදිවන ආරක්ෂක විද්‍යාලයේ කටයුතු සදහා දක්වන සහය පිළිබදව ද ජනාධිපතිතුමා මෙහිදී පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානියා වෙත සිය ස්තූතිය පිරිනැමිය.

එම විද්‍යාලය සදහා විශේෂඥ දැනුම ඇති දේශකයින් යොමුකිරීමට ද මෙහිදී පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානියා ජනාධිපතිතුමා වෙත සිය එකගතාවය පළ කළේය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂාහිඩ් අහ්මඩ් හෂ්මට් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News