සේවා නියුක්තිකයන් පිළිබඳව සංගණනයේ අවසන් වාර්තාව එළිදක්ව‌යි – රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් මිලියන 1.1ක්

Share

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 නොවැම්බර් මස 17 දින පවත්වන ලද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳව සංගණනයේ අවසන් වාර්තාව එළිදැක්විම 2018 ජූලි මස 09 වන දින ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා වෙත ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා විසින් මෙම වාර්තාවේ පළමු පිටපත පිළිගන්වන ලදී.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳව මුල් වරට විද්‍යාත්මක සංගණනයක් පවත්වන ලද්දේ 1980 වර්ෂයේ වන අතර ඉන් පසු පිළිවළින් 1985, 1990, 1994, 1998, 2002, 2006, සහ 2016 යන වර්ෂවලදී මෙම සංගණනය පවත්වා ඇත.

1980 වර්ෂයට පෙරද මෙම සංගණනය පවත්වා ඇති නමුත් එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් වැටුප් ලේඛන පදනම් කරගනිමින් රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳ ගණන් ගැනීමක් ලෙස සිදු කර ඇත.

2016 නොවැම්බර් මස 17 දින පවත්වන ලද මෙම සංගණනයට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවා නියුක්තිකයින් සංඛ්‍යාව 1,109,475 වන අතර මෙම සංඛ්‍යාව තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව තුළ සිටින නිල ඇඳුම් දරන කාර්ය මණ්ඩලය ඇතුළත් නොවේ. මෙම මුළු සේවා නියුක්තිකයන් අතරින් 65.3% මධ්‍යම රජය යටතේ වන පත්වීම් දරන අතර 34.7% පළාත් රාජ්‍ය අංශය යටතේ වන පත්වීම් දරයි.

මධ්‍යම රජය හා පළාත් රාජ්‍ය අංශයේ මුළු සේවා නියුක්තිකයින් අතරින් 485,471 රාජ්‍ය අංශයේ ආයතනවලටද 380,198 පළාත් රාජ්‍ය අංශයේ ආයතනවලටද, 243,806 අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවලටද අයත් වේ.

මෙම සංගණන තොරතුරුවලට අනුව මුළු සේවා නියුක්තිකයින්ගෙන් 55.1% පිරිමින් වන අතර 44.9% කාන්තාවන් වේ. මධ්‍යම රජය හා පළාත් රාජ්‍ය අංශය ලෙස වෙන වෙනම සැලකූ විට මෙම ප්‍රතිශතයන්හි පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ. එනම් පළාත් රාජ්‍ය අංශය තුළ කාන්තා සේවා නියුක්තිකයින් 61.6% වන අතර මධ්‍යම රජය තුළ බහුතරය (64%) පිරිමින් වේ.

Read more

Local News