ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 75%කට පමණ හේතුව බෝ නොවන රෝගයි

Share

ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 75%කට පමණ හේතුව වී ඇත්තේ බෝ නොවන රෝග බවත් 11%ක් පමණ බෝ වන රෝග මෙන් ම 14%ක් හදිසි අනතුරු හේතුවෙන් මරණයන් සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ළමා රෝග වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි.
මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
වයස අවුරුදු 30 – 70ත් අතර පිරිසෙන් 18%ක පිරිසක් පිළිකා, අංශභාගය, දියවැඩියාව හා ශ්වසන රෝග යන බෝ නොවන රෝගයන් සඳහා ගොදුරු වන බවත් වර්තමානයේ දි බෝ නොවන රෝග වළක්වා ගැනීම අභියෝගයක් වී ඇතැයි ද සෑම පුද්ගලයින් 05දෙනෙකුගෙන් එක්අයෙකු අඩු වයසින් මරණයට පත්වීමේ අවධානමකින් පසුවන බවත් පෙන්වාදෙන වෛද්‍යවරයා ඒ අනුව වර්තමානයේ සිටින්නේ තම දෙමාපියන්ට ප්‍රථම මරණයට පත්විය හැකි පරම්පරාවක් යැයි ද පෙන්වා දෙයි.
ලෝකය පුරා ළමා ප්‍රජාවගෙන් 5%ක පිරිසක් ස්ථූල බවින් පෙළෙන අතර ම මේ තත්ත්වය ආසියාව හා අප්‍රිකාව තුළ වැඩි වශයෙන් දැකිය හැකි බවත් ආදේශකයක් ලෙස කිරිපිටි භාවිත කළ ද කිරි නිෂ්පාදනය වන්නේ ඒ ඒ සතාට ගැළපෙන ආකාරයෙන් බැවින් මව්කිරිවලට ආදේශකයක් ලෙස පිටිකිරි ලබාදිය නොහැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
සෑම සතෙකුටම වෙනස් වර්ධන වේගයක් පවතින බවත් පිටිකිරි නිෂ්පාදනය සඳහා ගවකිරි ලබාගන්නා බැවින් අධික වර්ධන වේගයක් ලැබෙන අතර ම ඒ හරහා අනාගතයේ දී රෝග රැසකට අත වැනීමක් සිදුවන බවත් මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Read more

Local News