යල කන්නයේ අස්වැන්නෙන් වී මෙක්ට්‍රික් ටොන් 120,000ක් මිලදී ගැනිමට වී අලෙවි මණ්ඩලය සූදානම් – අමාත්‍ය මහින්ද අමරවීර

Share

2018 යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්ට්‍රික් ටොන් 120,000ක් ගොවීන්ගෙන් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් වී අලෙවි මණ්ඩලයට පසුගිය සතියේ මුදල් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ගොවීන්ගෙන් නාඩු වී කිලෝ එකක් රුපියල් 38 බැගින් ද සම්බා වී කිලෝවක් රුපියල් 41 බැගින්ද වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ඇතැයි ඇමතිවරයා පැවසුවේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙවර යල කන්නයේ වී අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 400,000 පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පෞද්ගලික වී මෝල් හිමියන් විසින්ද වී මිලදී ගැනීම සිදු කරනු ඇත.

මීට පෙර ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මණ්ඩලය විසින් කෘෂි පර්යේෂණ නිලධාරියාගේ සහතිකයක් ඉල්ලා සිටි නමුත් මෙවර පොහොර මිලදී ගැනීමේ ලියවිලි ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා කීය.

වී අලෙවි මණ්ඩලය සතුව ආරක්ෂිත වී තොග තබා ගත යුතු බැවින් සහතික මිලට ගොවීන්ගෙන් මණ්ඩලය මිල දී ගන්නේ තෙතමනය රහිත වී පමණි. එමෙන්ම මණ්ඩලයට වී අලෙවි කරන ගොවීන්ට වී ඇසිරීම සඳහා මණ්ඩලය විසින් නොමිලේ වී මලු ලබා දීමට කටයුතු යොදා ඇත.

Read more

Local News