උතුරු නැගෙනහිර කඩිනම්ව සංවර්ධනය කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය පළමු වරට රැස්ව‌ෙ‌යි

Share

දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පළමු වරට රැස්විය.

මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ එම සංවර්ධන වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප‍්‍රතිලාභ ලබාදිය යුතු බවයි. උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවිමට සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය පසුගිය වසර තුන හමාර තුළ පුළුල් වැඩකොටසක් ඉටුකළ ද ඒ පිළිබඳ ජනතාවට ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබී නොමැති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

වසර 26 ක යුද්ධයෙන් උතුරු නැගෙනහිර පළාත්වල අඩාල වූ සංවර්ධනය සහ පසුබෑමට ලක්වූ ජන ජීවිත යළි ගොඩනංවමින් දිවයිනේ අනෙක් පළාත්වල පවතින සංවර්ධනය එම පළාත් දෙක සඳහා ද ලබාදීමට රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

2018 ජූනි 05 වන දින විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිතුමා විසින් මෙම කාර්ය සාධක බලකාය පත් කරන ලදී. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමායි.

මෙම කාර්ය සාධක බලකාය විසින් උතුරු හා නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සොයා බලන අතර, තවදුරටත් කි‍්‍රයාත්මක කළයුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සිදුකරයි. ප‍්‍රමුඛ අවශ්‍යතාව පිළිබඳ සලකා බලමින් එම ක්ෂේත‍්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මකය.

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස 50,000 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ නිවාස 25,000ක ඉදිකිරීම් මෙම අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, තවත් නිවාස 10,000 ක ඉදිකිරීම් 2019 ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු ඇත.

පළාත් දෙකෙහි මාර්ග කි.මි 1847ක් පමණ සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. යාපනය, මයිලිටි ධීවර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

එමෙන්ම පළාත් දෙකෙහි ග‍්‍රාමීය මාර්ග, පානීය ජලය, වාරිමාර්ග, කෘෂිකාර්මික, ආර්ථික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු සියලු යටිතල පහසුකම්වල ද පුළුල් සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර තිබේ.

ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක අතර අම්පාර සීනි කර්මාන්තශාලාව යළි ස්ථාපිත කිරීම, මඩකලපුව කඩදාසි කම්හල සහ මඩකලපුව සහල් කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනරුදය වෙනුවෙන් ව්‍යාපෘති 20 කට වැඩි ප‍්‍රමාණයක් කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

කඩිනමින් කි‍්‍රයාත්මකවන මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් එම පළාත් දෙකෙහි ජනතාවගේ ජන ජීවිත වඩා වේගයෙන් නව පරිවර්තනයකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read more

Local News