ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව්මහල් ගබඩා සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

27

ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලුතින් ඉදිකරන ලද සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (06) පෙරවරුවේ විවෘත කෙරිණි.

ආයුර්වේද ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා මිලට ගනු ලබන වියළි ඖෂධ සහ නිෂ්පාදිත ඖෂධ ගබඩා කිරීම සඳහා මෙම නව ගබඩා සංකීර්ණය ඉදිකර තිබේ.

සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් අරබයා දේශීය වෛද්‍ය විද්‍යාවේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ජාතික හා ජාත්‍යන්තර ඖෂධ අවශ්‍යතා උසස් ප‍්‍රමිතියෙන් යුතුව සපුරාලන පුරෝගාමි ආයතනයක් ලෙස ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කි‍්‍රයාත්මක වේ.

2015 ජනවාරියෙන් පසුව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය නව ක්ෂේත‍්‍ර වෙත යොමුකරමින් ශාකසාර ආයුර්වේද නිෂ්පාදන සහ ශාඛසාර රූපලාවන්‍ය නිෂ්පාදනයට ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පියවර තබන ලදී.

එයින් ආයුර්වේද ඖෂධ කෙරෙහි නව වෙළෙඳපොළක් විවර වූ අතර, මේ වන විට ආනයනික රූපලාවන්‍ය නිෂ්පාදන වෙත තරඟයක් දෙමින් ඉහළ වෙළෙඳ පොළක් දිනාගැනීමට මෙම ආයුර්වේද ශාඛසාර නිෂ්පාදන සමත් වී තිබේ.

2014 වසරේ රුපියල් මිලියන 270 ක්ව තිබූ ආයුර්වේද ඖෂධවල නිෂ්පාදන පිරිවැය 2017 වසරේදී රුපියල් මිලියන 343 දක්වා ඉහළ නංවා ගැනීමට ද නිෂ්පාදන අලෙවි ආදායම 2014 වසරේ තිබූ රුපියල් මිලියන 340, 2017 වසරේදී රුපියල් මිලියන 501 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූයේ මෙම නව පියවර නිසාය.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා නව ගබඩා සංකීර්ණය විවෘත කරනු ලැබීය.

ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද නව ඖෂධ වර්ග 07 ක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.