ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා චීන රෝහල් නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක්

Share

ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරතවන මහජන චීන සමූහාන්ඩු නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “හෙපින්ග්ෆැන්ග්ශු” (A Hospital Ship of the People’s Liberation Army Navy of China “Heping fangzhou”) නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක් නිරත විය.

චීන නාවික හමුදාවේ නැගෙනහිර නාවික දියත් විධානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ගුආන් බේයිලින් මහතා (Deputy Chief of Staff of East Sea Fleet, PLA Navy, Rear Admiral Guan Bailin) විසින් “හෙපින්ග්ෆැන්ග්ශු” නෞකාව වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා පිළිගන්නා ලද අතර නැව්මුළුව විසින් නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනැමීමද සිදුවිය. අනතුරුව චීන නාවික නිලධාරින් ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පිරිස නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා කැඳවාගෙන යන ලදී.

අනතුරුව මෙම සුහද නිරීක්‍ෂණ සංචාරය සිහිගැන්වීම සඳහා රියර් අද්මිරාල් ගුආන් බේයිලින් මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුවිය.

ලෝකය පුරා ඇති වන හදිසි ආපදා තත්ත්වයන්ට ක්‍ෂණිකව මානුෂීය සහන ලබාදීමේ අරමුණින් යුතුව (Engage swiftly in humanitarian response to disasters around the world) උසස්ම තාක්‍ෂණයෙන් පරිපූර්ණව නිර්මාණය කර ඇති ආර්ක් පීස්’ (Ark Peace) නමින් හදුන්වනු ලබන “හෙපින්ග්ෆැන්ග්ශු” රෝහල් නෞකාව පසුගිය ඉරිදා දින (අගෝ 06) සුහද සංචාරයක් සඳහා දිවයිනට සේන්දු විය.

දිගින් මීටර් 178 ක්(178m) සහ පළල මීටර් 24ක් (24m) වන මෙහි 381 දෙනෙකුගෙන් යුත් නෞකා කාර්යය මණ්ඩලයක් රාජකාරී කරන අතර, ලොව පුරා සංචාරය කරමින් 120,000කට වැඩි පිරිසකට මෙමගින් වෛද්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. නවීන පහසුකම් වලින් යුත් ශල්‍යාගාර (Theaters), දැඩි සත්කාර ඒකක (Intensive care units), විශේෂඥ වෛද්‍ය සේවාවන් (Consultant medical services), නේවාසික ප්‍රථිකාර ඒකක (Residential treatment units), CT පරිලෝකන යන්ත්‍ර ( Computerized tomography machine) ඇතුළු සියලු ම වෛද්‍ය පහසුකම් මෙම නෞකාව සතුය. එමෙන්ම හදිසි අවස්ථාවකදී කඩිනමින් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් (Onboard helicopter facility) ද නෞකාව සතුව පවතී.

“හෙපින්ග්ෆැන්ග්ශු” නෞකාව අද (09) වන දින ‍කොළඹ වරායෙන් පිටත්වයාමට නියමිතය.

Read more

Local News