පෞද්ගලික රෝහල්වල විවිධ අයකිරීම් 46 ක මිල අඩු කරනවා – සෞඛ්‍ය අමාත්‍ය

Share

සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර පැනරාමා හෝටලයේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා,
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 නියාමනය කරන විට ඖෂධ ආනයනය කරුවන්ගේ වාණිජ මණ්ඩලය සහයෝගය ලබාදුන්නේ නැහැ. නමුත් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ සුළු ආනයනය කරුවන් මට සහයෝගය ලබාදුන්නා. එම නිසා මමත් එම සංගමයේ ඉල්ලීම් ඉටු කළා. ඖෂධ සමාගම් වලින් විවිධ බලපෑම් එල්ලවන අවස්ථාවක රට වෙනුවෙන් නැගී සිටීම ඉතාම අගය කළ යුතුයි. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය වසර 45 ක් පුරා කථා කළත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනා. එම ප්‍රතිපත්තියේ තිබෙන්නේ දේශපාලනය නොවෙයි. මහජන හිතවාදී සෞඛ්‍ය ප්‍රතිපත්තියයි. කුහක දේශපාලනය උඩ සෑම ප්‍රතිපත්තියක්ම දේශපාලනයට නතුකර ගන්නවා. විවේචනය කරනවා. අපේ රටේ මාධ්‍ය තිබෙන්නෙත් ජනතා යහපතට නොවෙයි. ඇතැම් ඖෂධ සමාගම් වල බලාපොරොත්තු ඉටු කරනවා. ඖෂධ සමාගම් වෙනුවෙන් පෙනී සිටිනවා. සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරය ලැබීම පිළිබදව විවේචන කර තිබුනා. විශ්වීය සෞඛ්‍ය රැකවරණය ලබාදීම සදහා මම ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් තමයි උප සභාපතිධූරය ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදුන්නේ. අපේ රට දූපත් රාජ්‍යයක්. මේ ලැබුන තනතුර ජයග්‍රහණයක්. 2016 වසරේ දී අග්නිදිග ආසියාවේ සභාපති ධුරටත් 2017 වසරේ දී විධායක සභික ධූරයත් මට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදුන්නා. අපේ රටට උප සභාපති තනතුර ලැබුනේ ප්‍රථම වරටයි. නමුත් ඒ ගැන දන්නේ නැති මෝඩ මාධ්‍යවේදීන් විවේචන ඉදිරිපත් කරනවා. එවැනි මාධ්‍යවේදීන් සිටින එකම රට ශ්‍රී ලංකාවයි.
බෝනොවන රෝග ලෝකයටම අභියෝගයක්. වාර්ෂිකව කෝටි 04 ක පමණ ජනතාවක් ලෝකය පුරා බෝ නොවන රෝග වලින් මිය යනවා. එම නිසා බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. පිළිකා රෝගීන් සදහාලක්ෂ 15 ක්ව තිබු ප්‍රතිකාර සීමාව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එම නිසා ඇතැම් රෝගීන් අද රුපියල් ලක්ෂ 450 දක්වා ප්‍රතිකාර ලබාගන්නවා. මාධ්‍ය මේවාට ප්‍රචාරය ලබාදෙන්නේ නැහැ. මාධ්‍ය වගකීම නිසි ලෙස ඉටු කරන්නේ නැහැ. දේශපාලනඥයින්ට විතරක් තනියෙන් රට හදන්න බැහැ. මාධ්‍ය කැත්තට පොල්ල වගේ ඉදලා වැඩක් නැහැ. නොමිලේ සිදු කරන සෞඛ්‍ය සේවා පිළිබදව ප්‍රචාරය ලබාදිය යුතුයි. අපේ රටේ සෞඛ්‍ය සේවාව පිළිබදව බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවල ලිපි පළ වෙනවා. නමුත් ලංකාවේ පළ වන්නේ ඉතාම අඩුවෙන්. මිනිසුන් ජීවත් කළ යුතුයි. අපි මාධ්‍ය නිදහස  ලබාදී තිබෙනවා. පසුගිය රජය සමයේ හරියට ලිපි පළ කළේ නැත්නම් අරලිය ගහ මන්දිරයෙන් කතෘවරුන්ට දුරකථන ඇමැතුම් ලැබෙනවා. සෞඛ්‍ය සේවාව සදහා ආයෝජන 42 ක් ලැබී තිබෙනවා. පෞද්ගලික අංශයට සහයෝගය ලබාදිය යුතුයි. ආර්ථිකයේ එන්ජිම පෞද්ගලික අංශය බව පිළිගත යුතුයි.
පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කරනවා. විවිධ අයකිරිම් 46 ක මිල නියාමනය කිරිමට ඉදිරියේ දී කටයුතු කරනවා. පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ ඥාතීන් අද උදෑසන මට කථා කළා. එම රෝගියාට සිහිය නැති වුනත් මේ වන විට රෝහල් බිල රුපියල් ලක්ෂ 20 ක් වෙලා. එම රෝගියා පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ගෙනඒමට මම කටයුතු සුදානම් කළා. පෞද්ගලික රෝහල් වලින් ලබාදෙන බිල දැක්කාම තවත් පපුවේ අමාරුවක් හැදෙනවා. පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය මුදල් පසුපස යන්නේ නැතිව මානව දයාවෙන් කටයුතු කරනවා. ලාභය පමණක් නොව මානව සේවාවත් ඉටු කරනවා.

Read more

Local News