බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයේ සියවස් සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයට සියවසක් සැපිරීම නිමිති කරගෙන සංවිධානය කෙරුණු සියවස් සමරු උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
වජිරාරාමාධිපති අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම සැමරුම් උලෙළ සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ උත්සවයේ මුලසුන හෙබවීය.
විසිඑක් වන සියවසට දහම් පාසල් අධ්‍යාපනයේ ගමන් මග, මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මෙහි විශේෂ දේශනය පවත්වනු ලැබීය.
වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්ෂිත නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ, කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති දර්ශනපති පූජ්‍ය බලංගොඩ සෝභිත නායක හිමිපාණන් වහන්සේ හා දක‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ද විශේෂ අනුශාසනා සිදුකළහ.
දහම් පාසල් සියවස් සමරුව නිමිත්තෙන් සංස්කරණය කරන ලද සියවස් සැමරුම් ග්‍රන්ථය ද මෙහිදී එළිදැක්වුණු අතර, එහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

Read more

Local News