සාත්තු සේවිකා රැකියා සදහා පළමු කණ්ඩායම ජපානයට

Share

තාක්ෂණික සීමාවාසී රැකියා වැඩසටහන යටතේ ජපානයේ කට්සුම් කායි ආයතනයට අනුබද්ධව සාත්තු සේවිකා රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායමට තරුණියන් හය දෙනෙකු ඇතුළත් විය. ජපන් භාෂාව N4 විභාගය සමත්ව මාස හතරක න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව ලැබූ මෙම කණ්ඩායමට අමතරව තවත් 61 දෙනෙකු රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි ආදායමක් ලබාගත හැකි විදේශ රැකියා අවස්ථාවන් ලබාදෙමින් ජපානයේ සාත්තු සේවිකාවන් ලෙස රැකියා අවස්ථාවන් ලැබූ පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. ජපානයේ සාත්තු සේවිකා රැකියා සදහා වැඩි අවස්ථාවක් ශ්‍රි ලංකාවට ලැබී තිබෙන අතර, ජපන් භාෂා ප්‍රවීනතාව N4 සමත් මේ සදහා අයදුම්කළ හැකිය.

රටට වැඩි ආදායම් ගෙන ආ හැකි නව විදේශ රැකියා වෙළදපොල සොයාගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ජපානයේ නව රැකියා අවස්ථාවන් සොයාගෙන ඇති බවත් විදුලි සංදේශ,ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා ජපන් භාෂා පුහුණව අනිවාර්ය වන බවත් භාෂා පුහුණව ලබාදීම සදහා දැනටමත් පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

වයස අවුරුදු 18-30 අතර, උස සෙ.මි.150ට වැඩි, වර්ණ අන්ධතාවයෙන් තොර හා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුවීම මූලික සුදුසුකම් වේ.
මෙයට අමතරව ජපන් භාෂාව දිස්ත්‍රික් මට්ටමින් පුහුණු කිරීමේ වැඩසටහනක් විදේශ සේවා කාර්යාංශය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙන අතර, ඒ සදහා වයස අවුරුදු 18-28ත් අතර,අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි කාන්තාවන්ට අයදුම් කළ හැකිය. ඌව පළාතේ හාලිඇල හා ගාල්ල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවල දැනටමත් ජපන් භාෂා පුහුණු පාඨමාලා ආරම්භ කොට තිබේ. ඌව පළාත් කාර්යාලයේ ජපන් භාෂා N5 විභාගයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් 13 දෙනෙකු අතරින් 12 දෙනෙකු ඉහළින්ම සමත්වී සිටිති. ගාල්ල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන සිසුන් ඔක්තොම්බර් මස පැවැත්වෙන ජපන් භාෂා ප්‍රවීණතා N4 විභාගයට සුදානම්ව සිටිති.

සාත්තු සේවිකාවන් 6 දෙනා පිටත්වීමේ උත්සවය රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේදී පැවති අතර එම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී.වන්සේකර, IM ජපන් ආයතනයේ ශ්‍රි ලංකා සාමාන්‍යාධිකාරී කමල් අත්තනායක, එම ආයතනයේ භාෂා උපදේශිකා ඉකේඩා යුරිකා මහත්මිය, කාර්යාංශයේ පුහුණු අංශයේ සහකාර කළමණාකරු ඩබ්.එල්.සී. මනෝහාරි මහත්මිය ඇතුළු පිරිසක්ව එක්වී සිටියහ. එහිදී එම රැකියාලාභින්ට ගුවන් ටිකට්පත් හා පුහුණු සහතික පිරිනැමීම සිදුකෙරිණි.

Read more

Local News