ආසියානු දැල්පන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Share

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වඩාත් තීරණාත්මක තරගවලින් එකක්වූ මැලේසියාව සමග තරගයෙන් ලකුණු 62-59ක් වශයෙන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙම තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (05දා) නිමාවට පත්විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන වටය සඳහා තරග කරන සුපිරි කණ්ඩායම් හතර තුළ තවදුරටත් ප්‍රථම ස්ථානයේ පසුවෙයි.
මේ අතර ප්‍රබල මැලේසියාව සහ සිංගප්පූරුව පහසුවෙන්ම පරාජය කළ අපරාජිත ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේද තම ස්ථානය පළමුවෙන්ම වෙන් කරගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතරේ තවත් එක් තරගයකට අද (06දා) හොංකොං සමග තරග වැදීමට නියමිත අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

පළමු කාර්තුව තුළ මැලේසියානු කණ්ඩායමෙන් දැඩි තරගකාරීත්වයක් දැකගත හැකිවූ අතර, එම කාර්තුව ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 15-13ක් වශයෙනි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු දක්ෂතා දැක්වීමට ඔවුන් ඉඩ ලබා නොදුන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහිදී ලකුණු ලබාගැනීමට තිබුණු අවස්ථා කිහිපයක් ගිලිහී ගිය අතර එහෙත් එම වැරදි නිවැරදි කරගැනීමට ඔවුහු දෙවැනි කාර්තුවේදී සමත් වූහ.වැඩි උපක්‍රම ක්‍රියාත්මක කරමින් තරගයේ පාලනය තමා වෙත නතු කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි කාර්තුවේදී ජය තමා සතු කරගත් අතර, එහිදී එම කාර්තුව තුළ ලකුණු 19-12ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. දෙවැනි කාර්තුව නිමාවේදී සමස්ත ලකුණු ප්‍රමාණය දැක්වුණේ ලකුණු 32-27ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතේ තබමිනි. දෙවැනි කාර්තුවේදී දුලංගි වන්නිතිලක සහ හසිතා මෙන්ඩිස් එක්ව මැලේසියානු ආරක්ෂක වළල්ල බිඳදමමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු රැස් කිරීමට අවස්ථාව හිමි කරගත්හ. එමෙන්ම හසිතා මෙන්ඩිස් පිටියේ විශේෂ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා විදින්නිය වූ තර්ජිනී ශිවලිංගම්ට පන්දුව ලබාදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කළාය.

තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම විවෘත කළ තෙවැනි කාර්තුවේ ජයද හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඒ ලකුණු 16-15ක් වශයෙනි. එම කාර්තුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරියගේ සහ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන ගයනි දිසානායකගේ දක්ෂතා බොහෝ සෙයින් ඉවහල් විය. තෙවැනි කාර්තුව අවසානයේ සමස්ත ලකුණු ප්‍රමාණය දැක්වුණේ 48-42ක් වශයෙනි.

කෙසේ වෙතත් සිවුවැනි කාර්තුවේදී ලකුණු ලබාගැනීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය ආරම්භයේදීම සම්පූර්ණයෙන් සියතට ගැනීමට සමත්විය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් සිදුවූ අඩුපාඩු කිහිපයක් නිසා එම කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු14ක් රැස් කරගනිද්දී මැලේසියානු කණ්ඩායම ලකුණු 19ක් රැස් කරගත්තේය. ඒ අනුව සමස්ත තරගය නිමාවූයේ ලකුණු 62-59ක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක් හිමි කරදෙමිනි.

Read more

Local News