රෝහල්වල සිදුවන වංචා, දුෂණ සහ අකටයුතුකම් පරික්ෂා කිරීමට නව වැඩපිළිවෙළක් – සෞඛ්‍ය අමාත්‍ය

Share

සෞඛ්‍ය සේවාව තුළ සිදු කරන වංචා, දුෂණ සහ අනෙකුත් අකටයුතුකම් පිළිබද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදෙන ලදි.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ සේවා කටයුතු විධිමත් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය.

වෛද්‍යවරුන් විසින් සිදු කරන විවිධ අකටයුතුකම්, රාජකාරී වේලාවේ පෞද්ගලික වෛද්‍ය සේවා සිදු කිරිම, නොමිලේ ලබාදෙන අක්ෂි කාච, ස්ටෙන්ස් වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක වීම, පිළිබදව රහසිගතව පරීක්ෂණ සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

දිවයින පුරා මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් සියල්ලම විමර්ශනයට ලක් කරන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි. ඒ සදහා අවශ්‍ය පාහසුකම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවුයේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස සුදත් රත්නවීර මහතා පත් කිරීමට නියමිතය.

විමර්ශන කටයුතු සිදු කිරිම සදහා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නව අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදෙන ලදි. ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති නිර්ණාමික හා නාමික චෝදනා පෙත්සම් විමර්ශනය කිරීමට යාමේ දී වෛද්‍ය සංගම්වලින් එල්ලවන බලපෑම් පිළිබදව ද මෙහිදී කරුණූ ඉදිරිපත් විය.

එවැනි බලපෑම් අනුරාධපුර මහ රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී එල්ල වූ බව විමර්ශන නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදි. තවද රෝහල්වල සිදුවන විවිධ වැරදි සොයා බලා පරීක්ෂණ පැවැත්වීම වෛද්‍යවරුන්ගේ පමණක් නොව සියලුම සෞඛ්‍ය සේවකයින්ගේ ද සිදු කරන බව විමර්ශණ නිලධාරින් මෙහිදී අවධාරණය කර සිටියේය.

Read more

Local News