රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පිටරටින් ගෙන්වීම වහාම නතර කළ යුතුයි – ජනපති

Share

රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (10) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී හම්බන්තොට ගොවි ජනතාව සමග පැවති හමුවකදී ය.

ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට දීපව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

ගිං – නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ එම ව්‍යාපෘතියේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක‍්‍රමිකතාවයන් පිළිබඳ වත්මන් රජය යටතේ ද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවයි.

ගිං – නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳ, මේ වන විට සිදුවන පරීක්ෂණවල පවතින දැඩි ප‍්‍රමාදය සහ මන්දගාමි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹීමට සිදුවනු ඇතැයි සඳහන් කළ ජනාධිපතිතුමා කෙසේ නමුත් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමේ වගකීම පැවරී ඇති ආණ්ඩුවේ සියලුදෙනා ද සිය දේශපාලන වටිනාකම් ආරක්ෂා කරගෙන කටයුතු කළයුතු බවට තමා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන බව ද කියා සිටියේය.

හම්බන්තොට සහ මාතර දිස්ති‍්‍රක්කයන්හි සංවර්ධනයේ නව පරිවර්තනයක් සිදුකෙරෙන සහ එම දිස්ති‍්‍රක්කයන්හි ගොවි ජනතාවගේ අපේක්ෂාවක් වූ ගිං නිල්වලා ව්‍යාපෘතිය ඉතා අවශ්‍ය බවට වූ ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News