දුම්රියේ වන අලින් ගැටීම වැළැක්වීමට කඩිනම් වැඩපිලිවෙළක්

Share

දුම්රිය මාර්ගයට වන අලීන් පැමිණීම හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන වන අලීන් මිය යාමත්, ඔවුන් අනතුරට පත්වීමත්, දුම්රියට වන හානිත් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

පසුගිය 18 වෙනි දින මඩකලපුව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහනය කළ දුම්රියට හසුවී අලින් සිව්දෙනෙකු මියයෑමේ ආසන්නතම ඛේදජනක සිදුවීම හේතුපාදක කර ගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ඊයේ (19) වන දින පස්වරුවේදී පත් කරන ලදී.

මෙම කමිටුව පත්කිරීමෙන් අනතුරුව වන අලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවරයන් කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, දුම්රිය මාර්ගයේ අලිමංකඩවල සහ දුම්රිය මාර්ගයට ආසන්නව අලින් වැඩිපුර ගැවසෙන ස්ථානවල ඉලෙක්ට්‍රොනික් පරිපථ සවි කිරීම සම්බන්ධයෙන් කමිටුවේ විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම දුම්රිය මාර්ගයට යටින් අලින්ට මාරුවීම සඳහා ස්ථානත්, අලින් දුම්රිය මාර්ගය හරහා ගමන්ගන්නා ස්ථානවල සුදුසු පරිදි ගුවන් පාලම් ඉදිකිරීමත් තුළින් මෙම ගැටළුව අවම කළ හැකි බව මෙහිදී සාකච්ඡා විය.

Read more

Local News