ශ‍්‍රී ලංකාවට, ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්

Share

එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (24) පස්වරුවේ හමුවූ  සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන් කළේය.

මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද Brock Bierman  මහතා පැවසීය.

එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මාසයේ දී අදාළ ගිවිසුම කොළඹ දී අත්සන් තැබීමට හැකි බව සඳහන් කළ ඒ මහතා, එම අවස්ථාවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද සහභාගීවන්නේ නම් ඒ පිළිබඳ අතිශයින් කෘතඥ වන බව  කියා සිටියේය.

ඊට එකඟතාවය පළ කළ ජනාධිපතිවරයා එක්සත් ජනපද රජය දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන සහය පිළිබඳව  තම ස්තූතිය පළ කළේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන  මෙම නව සංවර්ධන ආධාරය ඉතා අගය කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ මගී ප‍්‍රවාහන සේවාවේ සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

Read more

Local News