ජාතික මදුරු මර්දන සතිය අදින් ඇරඹේ

Share

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිළිබද ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව “ජාතික මදුරු මර්දන සතියක් අද (26) සිට ඔක්තෝබර් 02 දක්වා” දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 175ක ක්‍රියාත්මක කිරීමට කටයුතු සළසා ඇත.

මාධ්‍ය නිවේදනය – ජාතික මදුරු මර්දන සතිය, 2018 සැප්තැම්බර් ඔක්තෝබර් “ඩෙංගු වලින් තොර රටක්”

2018 වර්ෂය තුල ඩෙංගු රෝගීන් වාර්ථාවීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරයි. මෙය 2017 වර්ෂය සමඟ සැසදීමේදී 70% පමණ අඩුවීමකි. මේ තත්වය ලගා කර ගැනීම සඳහා ප්‍රජා දායකත්වය වැදගත් සාධකයක් විය. තිරසාර ඩෙංගු මර්දනයක් සඳහා මෙම තත්වය පවත්වා ගැනීම ඉතා වැදගත්වේ.

දිවයින පුරා සිදු කරනු ලබන පරිශ්‍ර පරීක්ෂණ වාර්තා අනුව, මදුරුවන් බෝවිය හැකි ස්ථාන තවදුරටත් පවතින බව වාර්ථාවේ. පාසල් සහ ඉදිකිරීම් පරිශ්‍ර ආශ්‍රිතව මෙම තත්වය වඩාත් දැඩි බව හදුනාගෙන ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ඉදිරි ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහල යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබඳ ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව “ජාතික මදුරු මර්දන සතියක් 2018 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා” දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 175ක ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා ඇත. මෙම සතිය තුලදී තෝරාගත් අවදානම් කලාප වල පරිශ්‍ර පරීක්ෂාව සිදු කිරීමට බලාපොරොත්තුවේ.

මෙම පරිශ්‍ර පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්, සාමාජිකයන් 6000කගේ දායකත්වය ලබාගන්නා අතර ගම් මට්ටමින් ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේද සහයෝගය ලබාගැනේ.

මෙහිදී පාසල් හා ඉදිකිරීම් පරිශ්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සැප්තැම්බර් 28 වන සිකුරාදා දිනය පාසල් පරීක්ෂාවටද, 29 වන සෙනසුරාදා දිනය ඉදිකිරීම් පරිශ්‍ර පරීක්ෂාවටද විශේෂයෙන් වෙන්කොට ඇත. තවද, 30 වන ඉරිදා දිනයේදී එම ප්‍රදේශවල පොදු ස්ථානයන්හි, ප්‍රජා දායකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහන් සිදුකරනු ඇත. මේ සදහා සියලූ ප්‍රජා සංවිධාන වල දායකත්වය හා සහයෝගය අපේක්ෂා කෙරේ.

තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

Read more

Local News