දේශපාලන වශයෙන් පමණක් නොව අල්ලස, දූෂණය නැති කිරීමට තොරතුරු පනත ප්‍රයෝජනවත් – කතානායක

Share

වාතය, හිරු එළිය, ජලය වගේම නිවැරදි තොරතුරු ලබා දීම සහ ලබා ගැනීමත් ජනජීවිතයට ඉතා වැදගත් කාරණයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමාගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අද (28) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ පැවති සම්මන්ත්‍රණයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කතානායකවරයා;

ලංකාවේ තොරතුරු පනත පිළිබඳව ඉල්ලීම මුලින්ම ආවේ උගත්, බුද්ධිමත්, විද්වත් පරපුරෙන්. ක්‍රම ක්‍රමයෙන් මෙය මහජන හඩක් බවට පත් වුණා. 2001 රනිල් වික්‍රමසිංහ රජය මගින් මෙම පනත ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් එය අසාර්ථක වුණා.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සමාජ බොහොමයක් මේ වෙනුවෙන් විශාල හඩක් නැගුවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි, වත්මන් රජයට මේ තොරතුරු පනත ගේන්න හැකි වුණේ. දේශපාලන වශයෙන් පමණක් නොව අල්ලස, දූෂණය නැති කරන්නත් මෙම පනත ප්‍රයෝජනවත්.

ගමේ සිටින පිරිස් පවා අද මේ තොරතුරු පනත ගැන විශාල උනන්දුවක් දක්වනවා. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වශයෙන් අපි සෑම විටම මෙය අගය කරනවා. මේ ක්‍රියාදාමය දෙස අපි හැම විටම විමසිල්ලෙන් බලා සිටිනවා.

පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ සතියේ අවසන් දිනය (28) අදයි.

Read more

Local News