හදිසි ආපදා තත්ත්වයක දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය

Share

හදිසි ආපදා තත්ත්වයක් තුළ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා වූ සැළසුම් ඇතුළත් වාර්තාව ප්‍රකාශයට පත් කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයට නව උපකරණ ලබාදීමේ උත්සවයක් වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

2017 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 08 ක සෞඛ්‍ය ආයතන 90 කට දැඩි අලාභ හානි සිදු විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘති වාර්තාවකට අනුව USAID ආධාර මත එම සෞඛ්‍ය ආයතන වලට නව උපකරණ ලබාදීම සිදු කරන ලදි. හදිසි ආපදා තත්ත්වයක් තුළ දී ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවකයින් 250 කට පමණ පුහුණුවක් ද මෙහිදී ලබාදෙන ලදි.

හදිසි ආපදා තත්ත්වයක දී දිස්ත්‍රීක් මට්ටමින් ක්‍රියාකළ යුතු ආකාරය ඇතුලත් සැළසුම් සහිත වාර්තාවක් ද මෙහිදී වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයට අවශ්‍ය නවීන උපකරණ ද මෙහිදී ලබාදෙන ලදි.

සැටලයිට් දුරකථන ඉන් ප්‍රධාන වෙයි. ගෝලීය උණුසුම්කරණය හමුවේ පාරිසරික වෙනස්වීම් සිදුවන බැවින් හදිසි ආපදා ඉදිරියේ දී තර්ජනයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇත. පාරිසරික වෙනස්වීම් හේතුවෙන් අධික වැසි ලැබීම් බහුලව දක්නට ලැබේ. හදිසි ආපදා තත්ත්වයක දී තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහයෝගය දැක්වීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටියි.

Read more

Local News