ආයෙත් තෙල් මිල අඩුවෙයි

Share

ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල ආසන්න දින කිහිපයේදී කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කෙරුණු බව වාර්තා වේ.

එක්සත් ජනපදය විසින් පසුගිය නොවැම්බර් 04 වැනිදා ඉරානයට පැනවූ සම්බාධක යටතේ, ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන රාජ්‍යයන් 8ක් සඳහා සම්බාධක නොපැනවීම මේ සඳහා හේතුව වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඊයේ දිනය වනවිට එක්සත් ජනපද ඩොලර් 72.84ක අගයකට පත්විය.

මෙය පසුගිය ඔක්තෝබර් මාසයේ 10 වැනිදා වන විට එම බොර තෙල් බැරලයක් සඳහා පැවැති ඩොලර් 83.17ක් අනුව සැලකූ විට මිල ඩොලර් 10.33 කින් අඩුවීමකි.

පසුගිය මාසයේදී පැවැති මිල ඉහළ යාමේ තත්ත්වයත් අනුව වසර අවසන් වන විට මෙම බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක්ද පෙන්නුම් කෙරිණි.

ඉරාන බොර තෙල් මිලදී ගන්නා ප්‍රධානම රාජ්‍යයන් වන චීනය, ඉන්දියාව ඇතුළුව ග්‍රීසිය, ඉතාලිය, දකුණූ කොරියාව, තායිවානය සහ තුර්කිය යන රටවල් තමන්ගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව සම්බාධක නොපැනවීමේ තීරණය ගත් බව එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් පවසා ඇත.

 

 

 

Read more

Local News