”ගජ” හේතුවෙන් මුහුද රළු වෙයි – පළාත් කිහිපයකට වැසි

Share

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 700 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.2 සහ නැගෙනහිර දේශාංශ 85.6 ආසන්නයේ ස්ථානගතව පවතී.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුලං වේගය වැඩි විය හැකි අතර මුහුද ඉතා රළු වේ.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස උපදෙස් දෙනු ලැබේ.

මුලතිව් සිට කන්කසන්තුරය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ. උතුරු සහ නැගෙනහිර දෙසින් වනමුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

දිවයිනට දකුණුදෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

Read more

Local News