කටුනායක ගුවන් තොටුපොළේ කුරුල්ලන් අල්ලයි

Share

නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට මෙරටට කුරුල්ලන් පිරිසක් රැගෙන එන ලද ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ  (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

හලාවත , කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා ඊයේ දින රාත්‍රී 9.10 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” තුළින් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර අැත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක ලව් බර්ඩ් වර්ගයේ කුරුල්ලන් 10 දෙනෙකු ද , තවත් ගිරව් විශේෂයකට අයත් කුරුල්ලන් 17 දෙනෙකු ද , වෙන වෙනම කුඩා ප්ලාස්ටික් කුරුළු කූඩ තුළ දමාගෙන මෙරටට ගෙනැවිත් තිබේ.

මෙම කුරුල්ලන් සියලු දෙනාගේ වටිනාකම රුපියල් 6,50,000 ක් බව ගුවන් තොටුපොළ රේගුව පැවසීය.

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා මෙම ව්‍යාපාරිකයාට නිසි බලපත්‍ර නොතිබුණු බව රේගුව ප්‍රකාශ කරයි.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.පී.එම්.ගුණවර්ධන , රේගු අධිකාරී ආර්.එම්.කේ.දයානන්ද සහ එම්.අම්‍ රින් යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ.කේ.අශෝක රංජිත් මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම කුරුල්ලන් සියලු දෙනා රාජසන්තක කර , මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය .

මීට අමතරව මෙම කුරුල්ලන් සියලු දෙනා , ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ , සත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ , යළිත් ආපසු සිංගප්පූරුව වෙත ප්‍රති අපනයනය කරන ලෙසද නියෝග කර තිබේ .

Read more

Local News